නාවික හමුදාවේ පාලනය යටතේ තිබෙන ගම්මානයට යන ප්‍රධාන මාර්ගය සහ උල්ලංඝනය වෙමින් පවතින ගම්වැසියන්ගේ මානව හිමිකම්!

නාවික හමුදාවේ පාලනය යටතේ තිබෙන ගම්මානයට යන ප්‍රධාන මාර්ගය සහ උල්ලංඝනය වෙමින් පවතින ගම්වැසියන්ගේ මානව හිමිකම්!

මන්නාරම මුල්ලිකුලම ගම්මානයට යන මාර්ගය නාවික හමුදාවේ පාලනය යටතේ පැවතීම හේතුවෙන් එම ගම්මානයේ වෙසෙන ජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මාධ්‍යවේදී එස්. ලැම්බට් මහතා පැමිණිලි කර ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගිය 2022 මාර්තු 6 වෙනිදා මන්නාරම, මූර් වීදිය යන ලිපිනයෙහි පදිංචි මාධ්‍යවේදී එස්. ලැම්බට් මහතා (34) පැමිණිල්ලක් සිදු කරමින් කියා සිටින්නේ ඉහත ගම්වැසියන්ගෙන් මානව හිමිකම් උල්ලංඝනය වන බව ය.

ඔහු එම පැමිණිල්ල සිදු කර ඇත්තේ නාවික හමුදාවට එරෙහිව ය. රට තුළ පැවති යුධ වාතාවරණය හේතුවෙන් මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මුල්ලිකුලම ගම්මානය නාවික හමුදාව විසින් අත්පත් කර ගැනුණු අතර, යුද්ධය අවසන් වීමත් සමඟ ජනතාව එහි නැවත පදිංචි කිරිම සිදු විය.

එහෙත්, ජනතාව ගමන් බිමන් යන ප්‍රධාන මාර්ගය මේ වන විටත් නාවික හමුදාවේ පාලනයට නතු වී තිබීම හේතුවෙන් ජනතාවට යාම් ඊම් සඳහා භාවිත කිරීමට සිදුව ඇත්තේ කැලෑබද මාර්ග යි. ඔවුන් දෛනිකව බියෙන් යුතුව එම මාර්ගය භාවිත කරන බව එම පැමිණිල්ලෙ හි වැඩිදුරටත් සඳහන් වේ.

මුල්ලිකුලම ගම්මානයේ නැවත පදිංචි කිරීම් සිදුකළ දා සිට මේ අයුරින් මානව හිහිකම් කඩ වෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

ලැම්බට් මහතාගේ මූලික ඉල්ලීම වී ඇත්තේ ජනතාව ආරක්ෂිතව තම ගම්මානය කරා යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීමයි.

පශ්චාත් යුද සමය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල බහුලව නැවත පදිංචි කිරීම් සිදුකළ ද, ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශ මුළුමනින්ම නිදහස් කර නැත. නාවික හමුදාව මෙම ගම්මානයට අයත් ප්‍රධාන මාර්ගය අත්පත් කරගෙන සිටින ආකාරයටම තවත් බොහෝ තැන්වල ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ අත්පත්කර ගැනීම් දක්නට ලැබේ.

මෙම ගම්මානයේ ජනතාව කැලෑ මාර්ගය භාවිත කිරීමේදී තිබෙන අනතුර ගැන සියල්ලන්ටම අවබෝධයක් තිබේ. දරුවන්, කුඩා ලමුන් සහ කාන්තාවන් ආදී වශයෙන් බොහෝ දෙනා මෙම මාර්ගය භාවිත කරන බැවින් ඔවුන් විවිධ අපහසුතාවන්ට ලක් වීමට ඉඩ ඇත. රාත්‍රී කාලයේ දී වැඩි වශයෙන් අනතුරු සිදුවිය හැක. ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට සිටින හමුදාව විසින්ම ඹවුන්ගේ ආරක්ෂාව අනතුරට ලක් කරනු ලැබ ඇත.

එම තත්ත්වය අවබෝධ කරගත් ලැම්බට් මහතා, එකී ගම්වැසියන් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීම හරහා බලාපොරොත්තු වන්නේ එම කොමිසම මැදිහත් වී නිසි පියවර ගනු ඇති බවයි.

මාධ්‍යවේදී එස්. ලැම්බට් මහතා

This post is also available in: English தமிழ்