පුරවැසි හඬ’ යනු මෙරට සාමාන්‍ය පුරවැසියන්ගේ හඬ සමාජගත කිරීමත්, පුරවැසියන්ට වැදගත් වන කරුණු පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමත් අරමුණු කරගත් ප්රකාශනයකි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වසර 25ක් තිස්සේ ගොඩනැගූ සමාජ කතිකාව මේ මොහොතේ තවදුරටත් තීව්ර කළ යුතු යැයි අපි කල්පනා කළෙමු. ඒ අනුව මෙම ප්රකාශනය භාෂා තුනෙන්ම පළ කෙරෙන අතර, මෙම සංවාද සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ වීඩියෝ මාධ්‍යයෙන්ද පළ කිරීමට අදහස් කරමු. ව්‍යවස්ථා සම්පාදනය රටක ඉතාම වැදගත් සාධකයකි.
සෝල්බරි ව්‍යවස්ථාවේ සිට 78 ව්‍යවස්ථාව දක්වාත්, එතැන් සිට මේ දක්වාත් සිදු වූ කිසිදු ව්‍යවස්ථා සම්පාදන කාර්යයක් තුළ මේ සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ සැබෑ ජීවින අභිලාෂයන් නියෝජනය නොවූ බව පැහැදිලිය. 71 කැරැල්ලෙන් ආ පණිවුඩය වටහාගත් බවක්, 72 ව්‍යවස්ථාවෙන් පිළිබිඹු නොවිණි. 20 වතාවක් සංශෝධනය වෙමින් වර්තමානය දක්වා ක්‍රියාත්මක වන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වසර 40කට අධික එම කාල පරාසය තුළ උතුරේ සහ දකුණේ කැරලි දෙකකින් අභියෝගයට ලක් කෙරිණි. පුරවැසියන් ලෙස තම අයිතිවාසිකම් ඉල්ලා සිටි උතුරේ ජනයාගේ ගැටලුව තිස් අවුරුදු යුද්ධයක් දක්වා වර්ධනය වන තුරුම ඊට සාධාරණ විසඳුමක් ලබා දීමට රාජ්‍යය අසමත් විය. යුද්ධයෙන් පසු දස වසරකට වැඩි කලක් ගෙවී ඇතත් තවමත් එම ගැටලුවලට විසඳුම් ලැබී නැත. 88-89 දකුණේ තරුණ කැරැල්ල විසින් මතු කළ සංඥා වටහා ගැනීමටද පාලකයින් අපොහොසත් විය.
නිදහසින් පසු ගෙවුණු වසර 75කට ආසන්න කාලය තුළ සමාජය වෙතින් පළ වූ එවැනි බරපතළ සංඥා කිසිවක් වටහා ගැනීමට කිසිදු පාලකයකු සමත් වී ඇති බවක් නොපෙනේ. පහුගියදා පැනනැගුණු මහජන අරගලය, මෑත ඉතිහාසයේ ඉතාම කේන්ද්‍රීය අරගලයකි. එහි ඉතා සාධනීය අංග මෙන්ම ඇතැම් නිෂේධනීය අංගද තිබිණි. මෙහි සුවිශේෂත්වය වන්නේ, එය නිර්ප්‍රචණ්ඩ හා ඉතා නිර්මාණශීලී එකක් වීමයි. 71 සහ 88-89 තරුණ කැරලි යම් ප්‍රමාණයකට ආයුද සන්නද්ධ කැරලි විය. මේ අරගලයට දායක වූ තරුණ පිරිස 88-89 පරපුරේ
දරුවන් හා 71 පරපුරේ මුනුපුරු මිනිපිරියන් ලෙස සැලකිය හැකිය. ඔවුන්ගේ සටන් ක්‍රමය වුණේ මුළුමනින්ම අවිහිංසාවාදයයි. එමෙන්ම, ජාති, ආගම්, පන්ති, ග්‍රාමීය- නාගරික, ස්ත්‍රීපුරුෂ ආදී බෙදීම්වලින් තොරව සියලු දෙනා ඒකරාශී කිරීමේ ශක්තියක් හා සියලු දෙනාට සමාන වටිනාකමක් ඒ අරගලය තුළ තිබිණි. එවැනි සාධනීය අංග ගණනාවක් එමගින් මතු කළේය. නමුත් මේ අරගලයෙන් පසුවත්, එහි සංඥාවන් වටහා නොගෙන පැරණි ක්‍රමයටම ඉදිරියට යෑමේ උත්සාහයක් රජය පාර්ශ්වයෙන් පළ වීම ඉතාකනගාටුදායකය. කැබිනට් මණ්ඩලය, අගමැතිවරයා හා අවසානයේ ජනාධිපතිවරයා දක්වා තනතුරු අත්හැර යෑමට හේතු වුණු වත්මන් අරගලය කෙරෙහි වෛරී ආකාරයකින් ප්‍රතිචාර දක්වමින් සිටින බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මෙය ඉතා නරක ප්‍රතිවිපාක ඇති කළ හැකි තත්ත්වයකි. මෙවැනි පසුබිමක් තුළ අපේ වෑයම, අරගලය විසින් මතු කළ ‘ක්රමයේ වෙනසක් සිදු කිරීම’ පිළිබඳ කාරණය සංවාදයකට ලක්කිරීමයි.
රටක ව්‍යවස්ථාව එරට පුරවැසියන් සියලුනාගේ ගෞරවයට හා පිළිගැනීමට හේතු වන්නක් විය යුතුය. එමෙන්ම ව්‍යවස්ථා සම්පාදන කාර්යයද ප්‍රභූ තන්ත්රයේ හෝ දේශපාලන පක්ෂවල හෝ කාර්යයක් බවට සීමා නොකොට, සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරන පරිස්වල සහභාගිත්වයෙන් හා පුළුල් සංවාදයක් ඔස්සේ සිදු කළ යුත්තකි. එය දින කිහිපයකින් සිදු කළ හැක්කක් නොවේ. ඒ පිළිබඳ එක් කෙටුම්පතක් නොව කෙටුම්පත් කිහිපයක් සම්පාදනය විය හැකි අතර අවසන් කෙටුම්පත මහජනයා අතර පුළුල් සංවාදයකට ලක් විය යුතුය. අපගේ වෑයම වන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව එවැනි සංවාදයක් ගොඩනැගීමට දායක වීමයි. එහි පළමු අදියර ලෙස, මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින පක්ෂවල නායකයින් ඒ කෙරෙහි කොතෙක් දුරට සංවේදී වී ඇත්දැයි විමසා බැලුවෙමු. දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන ඔවුන් කල්පනා කරන්නේ කෙසේද යන කාරණයත්, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම, පක්ෂවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය වැනි කාරණාත් සාකච්ඡා කළෙමු.
ඉදිරියේදී මෙවැනි විෂයයන් පිළිබඳව තවදුරටත් සංවාද ගොඩනැගීම අපේ බලාපොරොත්තුවයි. විශේෂයෙන් ඒ පිළිබඳ විද්වතුන්ගේ අදහස් සමාජය වෙත ගෙනයෑමට හා සංවාදයට ලක් කිරීමට අපේක්ෂා කරමු. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාගේ අදහස් මෙවර කලාපයට එක් කර ඇත්තේ ඒ අර්ථයෙනි. මුද්‍රිත ප්‍රකාශන ක්ෂේත්රය මුහුණ දී තිබෙන අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් මුලදී අපට මෙය ප්‍රකාශයට පත් කළ හැකි වන්නේ ඉලෙක්ට්‍රෝනික සඟරාවක් ලෙෂ පමණකි. එහෙත් ඉදිරියේදී මේ ප්‍රධාන විෂයයන් පිළිබඳ විවෘත මහජන සංවාද පැවැත්වීම අපගේඅපේක්ෂාවයි.
මෙම සංවාදයට එක් වී එය පෝෂණය කිරීම සඳහා දායක වන ලෙස, විශ්වවිද්‍යාල ප්‍රජාවට හා වෘත්තීයවේදීන්ටත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන පුරවැසියන්ටත් ආරාධනා කරමු.
ලයනල් ගුරුගේ,
ජ්‍යෙෂ්ඨ පර්යේෂක,
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
This post is also available in: English தமிழ்