මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක‍්‍රමය තීරණය කිරීමට අපහසු තත්ත්වයක සිටිනා බැවින් මෙසේ ඔබව නමින් ඇමතීමට තීරණය කෙලෙමි. කටපුරා ’හාමුදුරුවනේ‘ කියා ඇමතීමක් ලැබීමට සුදුසුකමක් මට ඔබ කෙරෙන් විද්‍යාමානවන්නේ නැත.
පහුගිය අවුරුදු ගණනාවක් පුරාවටම මම ඔබව දකින්නේ රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්ති මවන්නෙක් ලෙසටය. ඒ හැමවරකම මා පුදුමයට පත්කල කාරණය වූයේ ඔබ සහ ඔබ අවට සිටින්නන් සියළුම දෙනා ඔබව තව දුරටත් බුද්ධ පුත‍්‍රයකු ලෙස දැකීම හා සැලකීම සිදුවන්නේ කෙලෙසකද කියායි. ප‍්‍රවෘත්ති පමණක්ම හරහා මනුෂ්‍යයෙකු මිනිය නොහැකි නිසාම ඔබ කෙරෙහි බරපතල ආකල්ප ඇති වුවත් ඒවා පෞද්ගලික කර නොගෙන ඉවසීමෙන් බලා සිටීමට මට හැකිවිය. එහෙත් පසුගිය සති කිිහිපයක් තුල සන්ධ්‍යා සමග කිහිපවරක් උසාවි ගොස් ඔබ දෙස බලා සිටීමෙන්, ඔබගේ හැසිරීම් දැකීමෙන් හා ඔබගේ ගෝලයන් ගේ හැසිරීම් සහ කතා නිරීක්ෂණයෙන් මට මා තුල තිබූ ඒ බරපතල ආකල්ප තහවුරු කරගන්නට සිදුවිය, ඔබ කෙරෙහි වූ මාගේ සැක සංකා තහවුරු විය. එබැවින් තවදුරටත් ඔබ වෙනුවෙන් ’හිමි‘ හෝ ’හාමුදුරු‘ වචන පාවිච්චි කිරීමට මට හැකියාවක් නැති අතරම ’හිමි‘ ලෙස ආමන්ත‍්‍රණය කරමින් ඔබව රවටන අය කෙරෙහි මට ඇතිවන්නේ බරපතල සැකයක්, අවිශ්වාසයක් හා අසතුටකි….
ගිය සතියේ පුවත්පතකට මා යවනු ලැබූ ලිපියක මා ඔබ ගැන සදහන් කලේ ’ඥාණසාර‘ යනුවෙනි. ඔවුන් එය නිවැරදි(?) කොට ’හිමි‘ යන්න අගට එකතු කොට තිබුනි. එය නැවත නිවැරදි(?) කිරීමට හෝ ප‍්‍රශ්ණ කිරීමට මා උත්සාහ නොකලෙමි. මන්ද, ඔබව සහ පාඨකයාව තව දුරටත් එසේ රවටන්නේ ඒ අයත් රැවටීමකට අසුවී සිටිනා බැවින්ද නොඑසේනම් දැන දැනම ඔවුත් වෙනත් වුවමනාවක් නියෝජනය කරනවාද යන්න පිළිබදව මා හට පැහැදිලි අදහසක් නොමැති බැවිනි…. කෙසේ වෙතත් බෞද්ධයෙකු වශයෙන් හා බුදුන්ගේ ධර්මය ජීවිතයට අදාල කර ගැනීමට උත්සාහ කරමින් සිටින්නෙකු වශයෙන් මට දැනෙන්නේ මේ සෙල්ලම (ඔබව රවටමින් අපත් රැවටීමක සිටීම) තවදුරටත් මෙසේම කරගෙන යාම ඔබටවත් ඔබ වටේ සිටින අයටවත් ඔබව දැන දැන රවටන සහ රැවටෙමින් සිටින අයටවත් පමණක් නොව ඔබේ ක‍්‍රමයට විරුද්ධව යන කිසිවෙකුට පවා හොඳක් නොවන බවක්මය.
අප සියලූම දෙනා විශ්වාස කරමින් සිටින්නේ අප බෞද්ධයන් බවයි. මගේ තේරුම් ගැනීමට අනුව නම් බෞද්ධයන් යනු ;
1. බුද්ධ වචනය විශ්වාස කරමින්, බුදුන් වදාල ධර්මයට අනුව ජීවත් වෙමින් සසරින් එතෙරවීමේ පැහැදිලි අරමුණක ජීවත්වන්නන්ය.
2. ’සබ්බ දානං ධම්ම දානං ජිනාති‘ යි හොඳින්ම දන්නා හෙයින් ලොකුම දානය ලෙස අප දන්නා ධර්මය අන්අයගේ නිවීම උදෙසාද දානය කරන්නන්ය.
3. බුදුන්, දහම් හා සඟ සරණ යන්නන්ය.
අප සඟ සරණ යන්නේ සංඝයා අපට වඩා මේ පෙර කී කාරණා දෙකම පැහැදිලි කරගෙන සිටිනා බැව් විශ්වාස කරනා බැවින් හා ඔවුන් සසර ගමන කෙටි කරගැනීම සදහාම ගිහිගෙයින් නික්ම ගොස් ධාර්මික, ආදර්ශවත් ජීවිතයන් ගත කරමින් අපට සසර ගමන කෙටි කරගැනීම සදහා අවැසි මග පෙන්වනා බැව් විශ්වාස කරනා හෙයින්ය. ඔබ තුළ මේ දැනුම ඇති බවක් හෝ අපට ආදර්ශයට ගතහැකි ජීවිතයක් නැතහොත් අපට සරණ යා හැකි ජීවිතයක් ඔබ ගෙවනා බවක් ඔබගේ මේ කිසිම හැසිරීමකින් තහවුරුවන්නේ නැතිවා පමණක් නොව ඔබ හැසිරෙන්නේ මීට බෙහෙවින් පරස්පරවය. ඔබ ආදර්ශවත් ජීවිතයක් ගත කරමින් අපට ඇවසි මග පෙන්වීම කල හැකි තත්ත්වයක ජීවත්වන බව ඔබ තවදුරටත් විශ්වාස කරමින් සිටිනවානම් අඩුම වශයෙන් ඔබ අප ඉදිරියේ රඟ දක්වන මේ මමත්වයෙන් පිරි දඩබ්බර හැසිරීම් හෝ වෙනස් කල යුතුව ඇත.
ඔබට ඇප ලබාගැනීමේ චේතනාවෙන් බොහෝ අය උසාවි භූමියේ රැදී සිටි එක දිනෙක මම දන්නා අදුරන ළමයෙක් උසාව් භූමියේදී මා හා කථා කලේය, ඔහු මා හා කතා කිරීමට ඉදිරිපත් වූ පමණින්ම මගේ අදහස වූයේ ඒ ළමයාද මා මෙන්ම සියලූ සත්ත්වයන් නිදුක් වේවායි ප‍්‍රාර්ථනයෙන් පමණක් නොනැවතී ඒ අනුව ක‍්‍රියාකරන්නෙක් බවයි… එහෙත් මේ ළමයාගේ අතේ පිරිත් නූල් විශාල ප‍්‍රමාණයක් බැඳ තිබූ හෙයින්ද ඔහු සුදුම සුදු පැහැ කමිසයකින් සැරසී සිටි හෙයින් ද මට එක්වරම පහල වූයේ සැකයකි. මන්ද, ඇඳුමින් සහ එළිපිට වැඩවලින් තමන් බෞද්ධයන් බව පෙන්වීමට උත්සාහ කරන්නන් බොහෝ දෙනෙකු තුල මේ කාලයේ බෞද්ධකම සෙවීම ඉතා අපහසු කාර්යක් වී ඇති බව පොදු දැනුමක් බවට පත්ව ඇති හෙයිනි. කා වෙනුවෙන් මෙතැන සිටීදැයි මා ඔහු විමසූ විට අදිමදි කරමින් ඒ ළමයා මට පැවසූයේ අපි හිතාගෙන ඉන්නවාට වඩා ඔබ හොඳ කෙනෙක් බවත් අවශ්‍යනම් මට ඔබව මුණගැසිය හැකි බවත්ය… ඒ මොහොතේ මා ඔහුගෙන් ඇසූයේ මා ඔබ වැන්නෙකු මුණ ගැසිය යුත්තේ මොන හේතුවකටද යන්නයි. ඔබව පුද්ගලිකව හමුවී දැන හැඳුනුම්කමක් ඇති කරගැනීමවත් ඔබ මේ මොහොතේ අත්හදා බලමින් සිටිනා බලයේ තවත් එක් කොටස්කරුවෙකුවීමවත් මගේ බෞද්ධ ජීවිතයේ යහපතට හේතු නොවනු ඇති බව මා ඔහුට පෙන්වා දුන්නෙමි. සැබෑ බෞද්ධ භික්ෂුවක් හමුවී වැඩි දියුණු කරගතහැකි, ඉගෙනගතහැකි අධ්‍යාත්මික පැවැත්මක් මට ඔබ වෙතින් විද්‍යාමාන නොවන බැවිනි ඒ.
ඔබ ධම්ම පදය වනපොත් කොට ඇති බවට සැකයක් නැත.
’සබ්බ පාපස්ස අකරණං,
කුසලස්ස උපසම්පදා,
සච්ත්තපරියෝදපනං,
ඒතං බුද්ධාන සාසනං‘ යන්න ඔබ කෙසේ අර්ථදක්වන්නේදැයි මට ඇත්තේ කුකුසකි.
චීන අධිරාජයා තම රටට බුද්ධ ධර්මය රැගෙන පැමිණි බෝධිධර්ම නම් වූ ආචාර්යවරයාගෙන් වචන කිහිපයකින් බුද්ධාගමේ පදනම පැහැදිලි කරන්නැයි ඉල්ලීමක් කලවිට එතුමාගේ පිළිතුර වී ඇත්තේ ධම්ම පදයේ මේ ගාථාවයි. අධිරාජයා ඉන් එක්වරම කළකිරුනු බවත්, අවුරුදු තුනක ළදරුවෙකුට වුවද තේරුම් ගත හැකි පද හතරක් පමණකින් අර්ථ දැක්විය හැකි බුදු දහමක් කියා දීමට මේ තරම් උසස් පණ්ඩිතයෙකුගේ පැමිණීම අවශ්‍ය වන්නේ කුමකටදැයි ඔහු ඇසූ බවත් පොතපතෙහි සඳහන් වේ. බෝධිධර්මයන්ගේ පිළිතුර මෙසේ වීලූ.’සත්‍යයකි. තෙවසරැති දරුවකුට වුව එහි අර්ථය වටහා ගත හැක, එහෙත් අසූවියැති මහල්ලෙකුට වුව ඊට අනුව ජීවත්වීමට නොහැකි වීමයි ප‍්‍රශ්ණය‘.
වටහා ගැනීමට අසීරු කාරණය වන්නේ බෞද්ධයන් වූ අප සියල්ලන්ටම පමණක් නොව සංඝයන් යැයි කියාගන්නා ඔබ වැන්නන්ටද එම ගාථාව තියා බුදුන් පළමුව දෙසූ බව කියැවෙන දම්සක් පැවතුම් සූත‍්‍රයේ හරයද අමතක වීමයි, නැවත නැවතත් අමතකවීමයිි. බොහෝවිට අප කිසිවෙකු එය තේරුම් නොගත්තා විය හැක. නැතහොත් බෝධිධර්මයන් කිවූ පරිදි අර්ථය වටහා ගත් නමුත් ඒ අනුව ජීවත්වීමට නොහැකි වූවා විය හැකිය. දුඛ සත්‍යය, එනම්, සියළු සංස්කාරයන්ගේ වෙනස්වන ස්වභාවය විසින් අප තුල ඇති කරනු ලබන කනස්සල්ල, අතෘප්තිය හා දුක්වීම සත්‍යය බවද ඉන් මිදීම සඳහා එම දුක අප තුල සංජනනයවීම කෙරෙන නිම්ත්ත විය හැකි යමෙක් හෝ යම් දෙයක් කෙරෙහි ඇති කරගන්නාවූ ලෝභ, ක්‍රෝධ හා මෝහයෙන් අප මිදිය යුතු බව ද, ඉන් මිදීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ජීවත්විය යුතුබවද අප සියලු දෙනා දන්නා එහෙත් පිළිනොපදිනා කාරණය බවයි මගේ අදහස.
රූපවාහිනී නාලිකා තුලින් ඔබ දුටු සෑම අවස්ථාවකම ඔබ හැසිරුනේ මහා ක්‍රෝධයකිනි, එක් එක් අවස්ථාවල එක් එක් අය කෙරෙහි ඒ කෝපය එල්ල විය. එහි උච්ච අවස්ථාවක් සන්ධ්‍යා ඉදිරිපිට හෝමාගමදී අප දුටුවෙමු. ඔබ ඇති කරගෙන තිබූ ලෝභයද ඔබ නොදත් ඔබගේ මෝහයද අපටනම් ඉතා හොඳින් පැහැදිලිව පෙනුනි. ඔබට ’හිමි‘ ලෙස අමතන්නන් හා ඔබ පිටුපසින් ඔබගේ සියල්ල අගය කරමින් යන්නන් ඔබට කරන්නේ බරපතල වැරැද්දක් බව මා පවසා සිටින්නේ ඒ නිසාවෙනි. මෝහයෙන් අන්ධ වීම රහත් බවට පත්ව නැති ඕනෑම ජගතෙකුට විය හැක්කකි.
එහෙත් ඔබ සමග සිටින්නේ ඔබට සැබෑ ලෙස ආදරය කරන්නන් නම් ඔබට එය පහදා දීම නොවේද ඔවුනගේ අවංක කාර්ය විය යුත්තේ?
’විශ්වයේ කවර තැනෙක හෝ පවතින කිසිම දෙයක් තමා හෝ තමාගේ කියා සිතා ගැනීමට සුදුසුකමක් නැතැ‘ යි බුදුන් මජ්ජිම නිකායේ චූල තන්හා සංඛය සූත‍්‍රයේ වදාරා තිබෙන බව ඔබ නොදන්නවා විය නොහැක. එසේනම් රටක් ජාතියක් හා ආගමක් රැකගන්නේ කෙලෙසකද?
කාගෙන්ද?
ඒවා කොහේ රැගෙන යන්නද?
තමාට තමාවත් රැක ගත නොහැකි කොට…..?
ලොවක් දිනූවත් තම සිත දිණිය නොහැක්කේනම් ඉන් ඇති ඵලය කුමක්දැයි බුදුන් වහන්සේ වදාලේ නැතිද? ඔබගේ මිත‍්‍රයන් මට පැවසූයේ උසාවියේදී ඔබ හැගීම්බර වූ බවයි. ඇප නොලැබුනු ඔබගේ යුද්ධ හමුදා මිතුරාගේ කදුලින් ඔබගේ ඉවසීම සිඳී ගොස් සන්ධ්‍යාට පරිභව කිරීමට ඔබ පෙළඹුනු බවයි. ඉන් ගම්‍යවන්නේ ඔබගේ සිත කය වචනය කෙරෙහි ඔබට කිසිදු පාලනයක් නොමැති බව නොවෙයිද, ඔබමෙන් ධර්මය ඉගෙනීම නොකල ඉතාම සාමාන්‍ය ගැහැනියක් වූ සන්ධ්‍යා තම සැමියා අතුරුදහන් කළ හමුදා සෙබලූන් හා නිළධරයන් ඉදිරියේ තම හැගීම් කෙසේ ප‍්‍රකාශ කල යුතුව තිබුණිද? සැබෑ බුුද්ධ පුත‍්‍රයෙකුනම් ඔබ කලයුතුව තිබූයේ මේ සියල්ලක් ඉදිරියේ බුදුන් වදාල ලෙස උපේක්ෂාවෙන් තම සිත කය සහ වචන කෙරෙහි දැනුවත්ව ක‍්‍රියා කොට අන් අයට ආදර්ශයක්වීම නොවේද? ඔබේ යහළුවනට මෙතැන් සිට හෝ ධර්මයට අනුව හැසිරී රියසක මෙන් පිටුපසින් එන තම ක‍්‍රියාවට ලැබෙන ප‍්‍රතිවිපාකයෙන් මිදීමට, ඉතිරි ජීවිත කාලය තුලදී හෝ යහපත් කි‍්‍රයාවන්හි නියැලෙන ලෙසට දහම් වැදෑරීම නොවේද?
ධර්මය කොතරම් වනපොත් කලද ඔබගේ මේ හැසිරීම් හා අභිලාෂයන් ඔබගේ මරණයෙන් මතු සිදුවිය හැකි දේ තීරණය කරන බව ඔබ නොදන්නවා විය නොහැක. ඔබ හැසිරෙන්නේ නොමැරෙන මිනිසෙකු ලෙසය. සහෝදරියක් වශයෙන් මට ඔබ පිළිබදව ඇත්තේ කණගාටුවකි. මන්ද, බුදුන් දෙසූ සියල්ල දැනගැනීමට, අවබෝධ කිරීමට මෙතරම් භාග්‍යයක් ලද ඔබම කිසිම අගයක් නැති මිනිසෙකු හෝ මිනිසුන් සමූහයක් වෙනුවෙන්, නැතිවී යන ලෞකික දේ වෙනුවෙන් ලොල් බවක් ඇතිකොට, ඒ වෙනුවෙන් සියලු ධර්මය අමතක කොට දැමීම….. ? විපාකය කෙතරම් මහත් විය හැකිද?
මේ ලිපිය කියවීමෙන් ඔබත් ඔබ වටා රොක්වී සිටිනා අයත් මා කෙරෙහි අමනාපයක් හෝ වෛරයක් ඇති කර නොගන්නා බව මාගේ බලාපොරොත්තුයි. මා මෙසේ ලිවීමට පෙළඹවූ කාරණා මෙහි අන්තර්ගතයෙන් එපිට කිසිවක්ම නොවේ. ඉන් රිදෙන්නේනම් ඒ නැවතත් තම මමත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් මිසක මාගේ ප‍්‍රශ්නයක් නොවන බව මා විශ්වාස කරමි. මා හෙට දිනයේ මිය ගියද ජීවත්වන්නන් වෙනුවෙන් මා විසින් යහපත් දෙයක් කළ බව මා විශ්වාස කරනා හෙයින් මා බිය වන්නේ කුමකටද?
බියවිය යුත්තේ ධර්මයට අනුව ජීවත් නොවන්නන්ය.
මේ ලිපිය විසින් ඔබතුල හෝ කිසිවෙකුතුල යම් වෙනසක් සිදුවේනම් ඒම මා කල මහඟු පිණක් වනවා ඇත.
මීට
කුමාරි කුමාරගමගේ