අරගලයට කොටු වෙලා ව්‍යවස්ථා හැදුවොත් රටට හෙණ ගැහුව වගේ තියේවි

අරගලයට කොටු වෙලා ව්‍යවස්ථා හැදුවොත් රටට හෙණ ගැහුව වගේ තියේවි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 78 සිට මේ දක්වා 20 වතාවක් සංශෝධනය කර තිබෙනවා. මේ සංශෝධනවලින් බහුතරයක් ගෙනාවේ දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන්ගේ  වුවමනා එපාකම් ඉටු කරන්න. ඒ නිසා තමයි සංශෝධන ඇවිල්ලා ඇවිල්ලා මේක ව්‍යාකුල තත්වයකට පත්වෙලා තිබෙන්නේ. ඒ නිසා රටේ ජනතාවගේ, උගතුන්ගේ වියතුන්ගේ මතයක් තිබෙනවා, වර්තමානයට ගැළපෙන අලුත් ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දෙන්න ඕන කියලා. ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන රටට ගැළපෙන අලුත්ම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව තමයි මගෙත් යෝජනාව.

ජනාධිපති ක්‍රමය අහෝසි කළාම පළාත් සභාවට මොකද වෙන්නේ, පළාත් සභාව පාලනය වෙන්නේ කාගේ යටතේද කියන ගැටලුවත් මතු වෙනවා. මේවා එකකට එකක් බද්ධ වෙච්ච දේවල්. අපේ රට ෆෙඩරල් කරනවද, ඒකීය රටක් කරනවද කියන තීන්දුව ගන්න ඕන. ෆෙඩරල් කරනවා නම් පළාත් සභා තියල ජනාධිපතික්‍රමය අහෝසි කළොත් ෆෙඩරල් විදියට යන්න පුළුවන්. රටේ බහුතර ජනතාව කියනවා නම් මේක ඒකීය රජයක් වෙන්න ඕන කියලා, ජනාධිපතිට යම් බලතල තියෙන්න ඕන පළාත් සභා හසුරුවන්න. මේක කෙටියෙන් පැහැදිලි කරන්න බෑ, මේක පුළුල් සාකච්ඡාවක්. මම විපක්ෂයේ ඉද්දි හිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කමිටුවේ, අවුරුදු හතරක් අපි සාකච්ඡා කළා අවසානයක් දැක්කේ නෑ.

ව්‍යවස්ථාව කියන එක දින දෙකෙන් තුනෙන් හදන්න පුළුවන් දෙයක් නෙමේ. රටේ කතිකාවක් ඇති කරන්න ඕන. මොකද බොහෝ දෙනෙකුට මේ ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැහැ. ඒ අයට ඕන එදිනෙදා අවශ්‍යතාව ඉටුකරගෙන ජීවත් වෙන්න. ඒ නිසා මම විස්වාස කරනවා මේ රටේ කතිකාවක් ඇති කරලා, මේ පිළිබඳ වාද විවාද ඇති වන්න ඉඩ දීලා මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතුයි කියලා. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය ලැබෙන්න ඕන. නැත්නම් මේක කරන්න බැහැ.

අද පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් පත්වුණ මන්ත්‍රීවරු හැරෙන්න අනෙක් සියලු දෙනාම ජනතාවගේ ඡන්දෙන්, ජනතාවගේ නියෝජිතයන් හැටියට තමයි පත් කරලා තියෙන්නේ. අද අරගලය ගැන ලොකුවට මේ රටේ කතා වෙනවා. අරගලකරුවන් කියන්නේ 225ම එපා කියලා. හැබැයි මේ ඉන්න 225ම අයින් වුණොත් ඊළඟ පත් වෙන්නෙත් ලැයිස්තුවේ ඉන්න 225ක්. ඒ නිසා අරගලකරුවන්ගේ අරමුණ නෙමෙයි විය යුත්තේ. එතන ඉන්න නායකයෝ හැට දෙනාගෙන් ඇහුවොත් මොකක්ද විය යුත්තේ කියල ඒ හැට දෙනා කියන්නේ හැට  දෙයක්. ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැති අයත් එතන කතා කරනවා. මාධ්‍ය ඇහුවම එයාලගෙන් මොනවද යෝජනා කරන්නේ කියල, එහෙම යෝජනා නැහැ කියනවා.  ඒ නිසා මේ අරගලයට කොටු වෙලා ව්‍යවස්ථා හදන්න ගියොත් රටට හෙණ ගැහුවා වගේ තියේවි. මේ පිළිබඳ හොඳ වබෝධයක් තිබෙන කණ්ඩායම් එකතු කරගෙන, හොඳ කතිකාවක් ඇති කරලා, ඒක ජනතාවගේ පැත්තෙන් බලලා ජනතාවගේ පරමාර්ථය රැකෙන පරිදි කටයුතු කරන ව්‍යවස්ථාවක් වෙන්න ඕන.

පුරවැසි හඬ

This post is also available in: English தமிழ்