පක්ෂවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයත් තහවුරු කළ යුතුයි.
(පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය)
මේ මොහොතේ ජාතික ජනබලවේගය හැටියට අපි දකින දෙයක් තමයි මේ පුරවැසි නැගිටීම, දේශපාලන අවදිවීමත් සමඟ අපේ රටට අත්‍යාවශ්‍ය වන දේශපාලන පරිවර්තන පිළිබඳව සාකච්ඡා වෙමින් යන මොහොතක්. විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ මහජන නියෝජිතයන් සහ පුරවැසියන් අතර තියෙන සම්බන්ධය ගැන නව අර්ථකථන අවශ්‍ය සහ ඒ ගැන සංවාදයක් මතු වී තිබෙන මොහොතක්. කොටින්ම කිව්වොත් පාලකයන් සහ පුරවැසියන් අතර අලුත් සමාජ සම්මුතියක් ඉල්ලන වෙලාවක්. ජාතික ජන බලවේගය හැටියට අපි කාලයක් තිස්සේ කතා කරන දෙයක් තමයි, අද තියෙන ව්‍යවස්ථාව තුළින් අපි එන්න පුළුවන් උපරිම දුර ඇවිල්ලා තියෙන්නේ. මෙය තව දුරටත් ප්‍රතිසංස්කරණ කිරීම තුළින් අපේ රටේ ප්රජාතන්ත්රවාදය පුළුල් කරන්නවත්, ශක්තිමත් කරන්නවත් බැහැ. ප්රජාතන්ත්රවාදය පැත්තෙන් මේ ව්‍යවස්ථාව ගැන විවේචනත් බොහොමයක් තිබෙනවා. ඒ නිසා අපි අලුත් ව්‍යවස්ථාවක් තමා යෝජනා කරන්නේ. අපි 2018 සිටම අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කළා, මූලික වශයෙන් ප්‍රශ්න කිහිපයක් ආමන්ත්‍රණය කිරීම සඳහා.
සමානාත්මතාව සහතික කිරීම
එකක්, අපේ ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට මිනිස්සු හිතන්නේ අරගල කළේ, මහන්සි වුණේ, සන්නද්ධ අරගල වැනි දේවල් හරහා පවා උත්සාහ කළේ, පාලකයාත් පුරවැසියාත් අතර මේ සමාජ සම්මුතිය හදා ගන්නයි. අවුරුදු ගණනාවකට පස්සෙත් එක හරියට වෙලා නෑ කියන එක පිළිගන්න වෙනවා. එය ගොඩනැගීම තමයි අපේ මූලික අරමුණ. අනෙක් අරමුණ තමයි සමානාත්මතාව සම සමාජ සාධාරණත්වය තහවුරු කරන එක. එය ව්‍යවස්ථාවක් තුළ ඉතාම වැදගත් දෙයක්. එතැනදී, පුරවැසියන්ගේ විවිධ අනන්‍යතා පිළිගනිමින්, වෙනස්කොට සැලකිය නොහැකි විදියට අයිතිවාසිකම් තහවුරු විය යුතුයි. මානව අයිතිවාසිකම් පරිච්ඡේදය තුළත් පුද්ගල අනන්‍යතා පමණක් නොව කණ්ඩායම් අනන්‍යතාද ආරක්ෂාවන කළ යුතුයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, ආගමික සංස්කෘතික අනන්‍යතා ආදිය ආරක්ෂා වන විදියේ ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මොකද අපිට පිළිගන්න වෙනවා අපේ සමාජය තුළ විවිධත්වයක් තියනවා, ඒ විවිධත්වය තුළ දෙවැනි පන්තියේ (Second Class Citizens) පුරවැසියන් ඉන්න විදියක් නැහැ. සමානාතමතාව තහවුරු වෙන්න ඕන.
පුරවැසියාගේ බලය වැඩි කිරීම
අනෙක් දේ තමයි ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට නම් පුරවැසියාගේ බලය වැඩි වෙන්න ඕන. පරමාධිපත්‍ය බලය තියෙන්නේ පුරවැසියාගේ තමයි, නමුත් අපට දැනට තියන ක්‍රමය අනුව පරමාධිපත්‍ය බලය පුරවැසියෙකුට පෙන්නන්න පුළුවන් වෙන්නේ හෝ අභ්‍යාස කරන්න පුළුවන් වෙන්නේ මැතිවරණයකදී විතරයි. අපි හිතනවා එය ප්‍රමාණවත් මදි කියලා. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරනවා නම්, පුළුල් කරනවා නම්, පුරවසියෙකු පාලන ක්‍රියාවලිය තුළ මීට වඩා ශක්තිමත්ව, සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැනත් සලකා බැලිය යුතුයි. ඒ ඔස්සේ අපිට යෝජනා කීපයක් තියනවා. මේවා අවසාන යෝජනා, අවසාන තීරණ නෙමේ, මේවා අපි සාකච්ඡා කරමින් යන්නේ. මම උදාහරණ දෙක තුනක් කියන්නම්,
මැතිවරණයකදී දේශපාලන පක්ෂ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරනවා, පොරොන්දු ඉදිරිපත් කරනවා, බලයට පැමිණි විට කරන දේවල් සම්බන්ධයෙන්. අපි හිතනවා ඒවාට යම් කිසි වලංගුභාවයක් තියෙන්න ඕන කියල. ඒ මැතිවරණ ප්රකාශනවලට අනුව පත්වන ආණ්ඩුව ඒවා ක්‍රියාත්මක කිරීමට බැඳී ඉන්න ඕන. ඒ කාරණය ව්‍යවස්ථානුකුලව තහවුරු වෙන්න ඕන. යම් කිසි විදියකට පුරවැසියෙකුට, ඒ දුන්නු පොරොන්දු ඉෂ්ට කළේ නෑ කියල, තමන්ගේ මානව හිමිකමක් කඩ වුණා කියල උසාවී යාමේ හැකියාව තියෙන්න ඕන. එවිට දේශපාලන පක්ෂ බැඳිලා ඉන්නවා ඔවන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශන, පොරොන්දු ඉටු කරන්න. අපි හිතනවා එවිට මැතිවරණ ප්‍රකාශන කල්පනාකාරීව ඉදිරිපත් වෙයි කියලා. කරන්න බැරි දේවල් පොරොන්දු වෙන්නේ නෑ වගේම මිනිස්සුන්ව අන්දන්න යන්නේ නෑ, බොරු පොරොන්දු දීලා. මොකද ව්‍යවස්ථානුකුලව පුරවැසියාට ඉඩක් තියනවා තමන්ගේ අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා කියලා නඩු කියන්න.
යළි කැඳවීමේ බලය දිය යුතුයි
අපි හිතන තව දෙයක් තමයි Right to Recall කියන කාරණය. නැවත කැඳවීමේ බලය. ඒ කියන්නේ මැතිවරණයකදී පත්වෙන මහජන නියෝජිතයාගේ ක්‍රියාකලාපය ගැන, ඔහු හෝ ඇය පත්කරන පුරවැසියන්ට විවේචනයක් තියෙනවා නම්, ඔවුන් දුෂණයේ යෙදෙනවා නම් , පිළිගත නොහැකි ආකාරයකට හැසිරෙනවා නම් ඔවුන්ව නැවත කැඳවා ගැනීමේ බලය පුරවැසියන්ට තියෙන්න ඕන. පෙත්සමක් හෝ මැතිවරණයක් හරහා. අවුරුදු 05 අවසන් වෙනතුරු ඉන්න ඕන වෙන්නේ නැහැ. ඒ මහජන නියෝජිතයන් පත් කළ පුරවැසියන්ට පුළුවන් වෙන්න ඕන ඔහුව නැවත කැඳවන්න. අවුරුදු 5ක් ඕන දෙයක් කරන්න පුළුවන් වගේ හැඟීමකින් නේ අද මහජන නියෝජිතයන් පත් වෙන්නේ. ඔවුන් පොරොන්දු වෙච්ච දේ නෙමේ කරන්නේ. අනෙක් පැත්තෙන් මහජන මතයත් වෙනස් වෙලා. නමුත් පුරවැසියන්ට කරන්න දෙයක් නැහැ. අවුරුදු 5ක් බලන් ඉන්න ඕන. එවැනි තත්වයන් මග අරින්නත් අර අතර මැද කරන්න පුළුවන් දෙවල් ගැන අපි අවධානය යොමු කරන්න ඕන.
පක්ෂවලින් එහාට මෙහාට පනින එක නවත්තන්න ඕන. ඉන් වෙන්නේ ජනතාව දුන්නු වරම අවභාවිත කිරීමක්. පත් කරන්නේ මොකක් හරි දෙයක් වෙනුවෙන්, නමුත් පත් කළාම ඕන පැත්තකට මාරු වෙනවා. මේවා ප්රජාතන්ත්ර විරෝධියි. මේවා ව්‍යවස්ථානුකුලව නවත්තන්න ඕන.
මේ වගේ යෝජනා කිහිපයක්ම අපට තියනවා, ඒ වගේම ව්‍යවස්ථානුකුලවත් පක්ෂ දේශපාලනය තුළත් සිද්ධවෙන්න ඕන තව දෙයක් තියෙනවා. අපි මේ වෙලාවේ ජාතික ජන බලවේගය හැටියට ‘කොට්ඨාස සභා’ පිහිටුවාගෙන යනවා. ඒ කොට්ඨාස සභාවලට පුළුවන් වෙන්න ඕන පක්ෂයේ ඉහළටම බලපෑම් කරන්න. පක්ෂය බලයට ආවත් ඒ ව්‍යුහය පාලන ක්‍රමය එක්ක සම්බන්ධ කළ හැකි විය යුතුයි. උදාහරණයක් හැටියට, මැතිවරණයකදී පක්ෂයේ අපේක්ෂකයන් යෝජනා කරන්න පුළුවන් වෙන්න ඕන, ඒ කොට්ඨාස සභාවලට. කොට්ඨාස සභාව හරහා තම ඒ නාම යෝජනා ඉදිරියට යන්න ඕන. නැත්නම් උඩින් දාන එකක් වෙන්න බෑ. මේ ඔස්සේ පක්ෂ ප්‍රජාත්නත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, පුරවැසියන් මේ ක්‍රියාවලියට ශක්තිමත්ව සහභාගිවීමටත් අවස්ථාව ව්‍යවස්ථාපිතවම තහවුරු වෙන්න ඕන.
ඒ වගේම මේ දෙයත් කියන්න ඕන, ව්‍යවස්ථාවෙන් සියල්ල කරන්න බෑ, ව්‍යවස්ථාව කියන්නේ එකක්, පුරවැසි සහභාගිත්වය වෙන්න නම් පුරවැසියන් සංවිධානය වීමත්, දේශපාලන දැනුවත්භාවය ලබා ගැනීමත් අඛණ්ඩව සිද්ධ විය යුතුයි.
පුරවැසි හඬ
This post is also available in: English தமிழ்