ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සංක්‍රමණික යුක්තිය

අධිනීතිඥ හොවාර්ඞ් වානි සමග සාකච්ඡාවක්

හොවාර්ඞ් වානි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අධිකරණයේ අධිනීතිඥවරයෙකි. ඔහුගේ විෂය පථයට මානව හිමිකම් නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ පරිපාලන නීතිය ඇතුළත් වේ. ඔහු සංක්‍රමණික යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර කේන්ද්‍රයෙහි ජේෂ්ඨ වැඩසටහන් උපදේශකයෙකුද වේ. 90 දශකයේ මැද භාගයේදී ඔහු දකුණු අප්‍රිකාවේ සංවිධානාත්මක දේශපාලන අපරාධ පිළිබඳ ස්වාධීන අපරාධ විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීය. දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිසමෙහි උපදේශකයෙකු ලෙස කටයුතු කළ ඔහු පසුව සියෙරා ලියෝනයේ සත්‍යය සහ ප්‍රතිසංධානය පිළිබඳ කොමිසමෙහි ප්‍රධාන අපරාධ පරීක්ෂකයා ලෙස කටයුතු කළේය. සංක්‍රමණික යුක්තිය පිළිබඳව හසල ජාත්‍යන්තර අත්දැකීම් ඇති විද්වතෙකු වන හොවාර්ඞ් වානි කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආරාධනය මත මේ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ තිබේ.

හොවාර්ඞ් වානි සමග නීතිඥ භවානි ෆොන්සේකා සමබිම වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනය මෙවර අපි ඔබ වෙත ගෙන එමු.

සංක්‍රාන්තික යුක්තිය යනු කුමක්ද? එහි වැදගත්කම කවරේද? පශ්චාත් යුද තත්වයක් තුළ සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රියාවට නොදමන්නේ නම් හෝ නොසලකා හරින්නේ නම් ඇති විය හැකි ප්‍රතිවිපාක මොනවාද?

මානව හිමිකම් කඩවීම් නැවත නැවත සිදුවීම වැලැක්වීමේ අරමුණ සමග සම්බන්ධ වී තිබෙන පශ්චාත් – ගැටුම් යුක්තිය පිළිබඳ සංකල්පය වෙත වූ ප්‍රවේශයක් ලෙසය සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ අදහස මතු වී තිබෙන්නේ. තමන්ගේ ඉතිහාසය සමග සම්මුඛ නොවන ඒ වගේම ගැටුමට බලපෑ කරුණු බැරැරුම් ලෙස ආමන්ත්‍රණය නොකරන රටක් හැම වෙලාවේම නැවතත් පැරණි වැරදිවලම යෙදීමේ හා ඒ අනුව අතීතය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ අවදානමක් තුල සිටී.

සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ වැඩසටහන් හා ප්‍රතිපත්තිවලට සහ අතීතයේ සිදුවූ අපරාධවල වින්දිතයන් සම්බන්ධයෙන් කාලය නම් වූ සාධකය බලපාන්නේ කෙසේද?

හැකි පළමු අවස්ථාවේම සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ වැඩසටහන් ආරම්භ කිරීම හොඳම ප්‍රවේශයයි. එවිට වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවනගේ මතකයන් සජීවීව පවත්නා සහ ඒ ආකාරයේ වැඩසටහන් සඳහා තිබෙන උනන්දුව හා සහයෝගය සජීවීව පවත්නා විට එම වැඩසටහන් සඳහා අවශ්‍යය මුල පිරීම සිදුකළ හැක.
කෙසේ වූවද සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පෙර වගකිව යුතු ආයතන එවැනි වැඩසටහන් මෙහෙයවීමේ හැකියාවෙන් යුක්ත ද යන්න පිළිිබඳ සැලකිලිමත් වීම වැදගත්ය. එම ආයතන ප්‍රමාණවත් ලෙස ස්වාධීනද? ඒවාට නිසි ශක්යතාවය තිබෙනවාද?එසේ නොමැති නම් එම ආයතන ප්‍රමාණවත් තරමින් ප්‍රතිසංස්කරණය වන තෙක් සිටීම වඩාත් යෝගයය. විකල්ප වශයෙන් කෙටිකාලීනව එකී වැඩසටහන් දියත් කිරීම සඳහා තාවකාලික හෝ තත් කාර්ය පදනමින් එවැනි ආයතනික ව්‍යුහයන් ඇති කළ හැකියි.

වෙනත් රටවල අත්දැකීම්වල ආලෝකය තුළ තබා බලන විට ශ්‍රි ලංකාව තුළ එහි අතීතය ඵලදායී ලෙස ආමන්ත්‍රරණය කිරීම සඳහා සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සැලකිල්ලට ගත යුතු සාධක කවරේද?

යම් රටක අනුගමනය කළ ක්‍රියාවලියක් තවත් රටකට එහෙම් පිටින්ම ආනයනය කිරීම සිදු කළ නොහැක්කක්. කෙසේ වූවද වෙනත් රටවල අත්දැකීම්වලින් උගත හැකි බොහෝ දෑ තිබේ. එවැනි වෙනත් අත්දැකීම්වලින් උගත හැකි ප්‍රධානතම පාඩම නම් සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ යාන්ත්‍රණයන් සහ කාර්ය පටිපාටීන් සාධාරණ සහ අපක්ෂපාතී විය යුතු මෙන්ම ස්වාධීන, ස්වයං පාලිත සහ ස්ත්‍රි පුරුෂභාවය කෙරෙහි වූ සංවේදීතාවයෙන් යුක්ත විය යුතු බවය. එමෙන්ම සිය කටයුතු කරගෙන යාම සඳහා වූ නිසි සහයෝගය සහ බලතල ද මෙකී ආයතන සතුව පැවැතිය යුතුය.

සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති වීමක් සිදු නොවන බවට වූ සහතික වීම ලෙස සංක්‍රාන්තික යුක්තියට අදාළ කුළුණු හතරක් තිබේ. මෙම කරුණු ආමන්ත්‍රණය කිරීම වැදගත් වන්නේ කෙසේද?

සංක්‍රාන්තික යුක්තියට අදාල ඉහත කී සියලූ කරුණු ආමන්ත්‍රණය කරනු ලැබීම ඉතාම වැදගත්ය. ජාත්‍යන්තර නීතිය අනුව තමාට තිබෙන බැඳීම් ප්‍රකාරව බොහෝ රටවල් එම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට බැඳී සිටී. මෙම ක්ෂේත්‍ර සතරම අන්තර්ගත වූ ඒකීය ක්‍රියාමාර්ගයක් ලෙස සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක වේ නම් එය වඩාත් සාර්ථක වනු ඇත. මෙම ක්‍රියාවලීන්ගේ ප්‍රතිලාභ අනාගත පරම්පරාවන් විසින් භුක්ති විදිනු ලැබීමට නම් මෙම ඇතැම් වැඩසටහන් දීර්ඝ කාලීන ව්‍යාපෘතීන් විය යුතුයි.

පශ්චාත් යුද තත්වයක් තුළ සත්‍ය දැනගැනීම හා තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය වැදගත් වන්නේ කෙසේද?

සත්‍ය දැනගැනීමට තිබෙන අයිතිය අතිශය තීරණාත්මක අයිතියකි. මෙය බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මූලික අයිතිවාසිකම් ලෙස පිළිිගනු ලැබූ අයිතිවාසිකමකි. තවද එය ජාත්‍යන්තර නීතිය තුළ පැන නැගෙමින් පවතින්නා වූ සම්මතයක් ද වේ. අතීත ගැටුම් පිළිබඳව හා නිශ්චිත මානව හිමිකම් කඩකිරීමේ සිදුවීම් පිළිබඳව දැන ගැනීමේ අයිතිය එකී සිදුවීම්වල වින්දිතයන්ට මෙන්ම පොදුවේ මහජනයාට ද පවතී. මෙකී අයිතිවාසිකම් සුරක්ෂිත නොකොට වින්දිතයන්ට ඵලදායී ප්‍රතිකර්මයක් ලබාදීම සිදුකළ නොහැක.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම වැනි යාන්ත්‍රණයක තිබෙන වැදගත්කම කුමක්ද? එවැනි කොමිසම් ක්‍රියාත්මක වූ වෙනත් රටවලින් උගත හැකි පාඩම් මොනවාද? සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් තුළ අන්තර්ගත විය යුතු ප්‍රධාන ලක්ෂණ කවරේද?

සත්‍ය කොමිසමක් අවංකව, අව්‍යාජව සහ දැඩි සැලකිල්ලෙන් යුක්තව අතීතය සමග අභිමුඛ විය යුතුය. සත්‍ය කොතරම් වේදනාකාරී යැයි පෙනී ගියත් එය කළ යුතුය. සත්‍ය කොමිසමක් වැදගත් කරුණු නොසලකා හරින්නේ නම් හෝ සත්‍ය පිළිබඳ විකෘති චිත්‍රයක් නිර්මාණය කරන්නේ නම් එවැනි කොමිසමක් පිහිටුවීමෙන් අපේක්ෂා කරන උසස් පරමාර්ථයන් සාක්ෂාත් කරගත නොහැකියි. එවැන්නක් සිදුවුවහොත් තමුන්ව රවටනු ලැබූ බව හා සම්පූර්ණ කතාව තමන්ට නොකියනු ලැබූ බව ජනතාව කල් නොගොස් වටහා ගන්නවා ඇත.

යුක්තිය සඳහා වූ අයිතිය වැදගත් වන්නේ ඇයි?

වඩාත්ම බරපතල මානව හිමිකම් කඩකිරීම් සැලසුම් කළ පුද්ගලයින් යුක්තිය ඉදිරියට පැමිණවීම සිදු නොවූවොත් එය නීතියේ ආධිපත්‍යය කෙරෙහි වූ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියේ ආධිපත්‍යය එතරම් බරපතල ලෙස සම්මුතිගත කෙරේ නම් දෝෂමුක්තියේ සංස්කෘතියකට ඉන් අනුබල ලැබීම වැලැක්විය නොහැක. එවැනි දෝෂමුක්ති සංස්කෘතියක් විසින් අනාගතයේ මෙවැනිම මානව හිමිකම් කඩවීම් සිදුවීම සඳහා වූ බීජ වපුරනු ලබන අතර ඇතැම් විට ඒවා වඩාත් විශාල පරිමාණයකින් සිදු විය හැක.

2015 වර්ෂයේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේ දී ශ්‍රි ලංකාවේ රජයේ ද අනුග්‍රාහක්තවයෙන් සම්මත වූ යෝජනා සම්මතයේ මෙසේ සඳහන් වේ. ‘ජාත්යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය කඩකිරීම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ අභිචෝදක කාර්යාලයක් සහිත අධිකරණමය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම’’. මේ ආකාරයේ විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමේ දී සැලකිල්ලට ලක්විය යුතු කරුණු මොනවාද?

වඩාත්ම වැදගත් ප්‍රශ්නය වනුයේ අධිකරණ බලය පිළිබඳ ප්‍රශ්නයයි. කාර්යපටිපාටියට අදාළ රීතීන් සහ චූදිත පුද්ගලයන්ගේ හා වින්දිතයන්ගේ අයිතිවාසිකම් මෙන්ම වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වැදගත් වන අනෙකුත් කරුණුය. විශ්වසනීය හා ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමේ අවශ්‍යතාවය අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. විනිසුරුවරුන්ගේ සංයුතිය හා විනිසුරුවරුන්, අභිචෝදකයින් හා වෙනත් එවැනි වැදගත් තනතුරු පත්කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රියාවලිය ද ඉතාම තීරණාත්මකය. වරදකරුවන් ලෙස තීරණය වූ පුද්ගලයින්ට දෙන දඩුවම් හා සංක්‍රාන්තික යුක්තියට අදාල වෙනත් ආයතන සමග තිබෙන සම්බන්ධතාවය ද සලකා බැලිය යුතුය.

ශ්‍රි ලංකාවට අදාලව මේ සඳහා හයිබ්‍රිඩි අධිකරණයක් ස්ථාපිත කිරීමේ තිබෙන වාසි හා වැදගත්කම කුමක්ද?

අතීත භාවිතාවන් නිසා අපරාධ යුක්ති ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය පළුදු වී තිබෙන රටවල එකී ක්‍රියාවලීන්ව, ශක්‍යතාවය පිළිබඳව හා ඒවා වෙනත් අරමුණු වෙනුවෙන් යොදාගැනීමේ හැකියාව ගැන සැක සංකා පවතින නිසා එවැනි රටවලට හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් යොදාගැනීම නිර්දේශ කළ හැක. නිපුණතාවයෙන් යුක්ත කීර්තිමත් විදේශ විනිසුරුවරුන්, අභිචෝදකයින් හා විමර්ශකයින් සමාන්තර දේශීය කණ්ඩායම් සමග එකට වැඩ කරන විට කෙටිකාලයක් තුළ විශ්වාසය සහ විශ්වසනීයත්වය ගොඩනගා ගැනීම පහසු වේ.

සිදු වූ හානි පූරණය කිරීමේ දී ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්න මොනවාද?

ප්‍රධාන කරුණු තුනක් මෙහිදී වැදගත්ය. එනම් වින්දිතයන්ට හා විනාශයෙන් ගැලවී ගත් අයට සිදුවූ හානි නැවත පිලිසකර කිරීම, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම නිසා වින්දිතයන්ට විඳවීමට සිදුවූ බව පිලිගැනීම හා රාජ්‍යය හා සමාජය නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලිය සඳහා වින්දිතයන් දායක කරගැනීම. හානිපූරණ වැඩසටහනේ පරාසය, රාජ්යයට ඒ සඳහා තිබෙන ශක්‍යතාවය සහ එකී වැඩසටහන්වල ප්‍රතිලාභීන් කවරේද යන්න ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. එමෙන්ම වැඩසටහන්වල ස්වභාවය ද අවධානයට ලක්විය යුතුය. එම වැඩසටහන් වින්දිතයන් හානිය සිදුවීමට පෙර සිටි තත්වයට පැමිණවීමේ අරමුණින් සිදු කරන්නක්ද? එය වන්දි දීම, පුනරුත්ථාපනය කිරීම ආදී ක්‍රියාමාර්ග හරහා බලාත්මක කෙරෙන්නක්ද? එසේත් නැතිනම් ඊට වෙනස් ආකෘතියක් අනුගමනය කරන්නේද? සංකේතීය හානි පූරණයන් ද ඊට ඇතුලත් වේද? තනි පුද්ගලයින් මෙන්ම සාමූහික ප්‍රජාවන් ද ඉලක්ක කොටගත් හානි පූරණ වැඩසටහන් පැවැතිය යුතුද? මේ ආදී ප්‍රශ්න කෙරෙහි ද අවධානය යොමු විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලීන් අතර සම්බන්ධය කුමක්ද? වෙනත් රටවලින් මේ සම්බන්ධව උගත හැකි පාඩම් මොනවාද? එම රටවල සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලීන් සාර්ථක කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂණයන් වෙතින් ලැබුණු අනුබලය කවරේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය සහ සංක්‍රාන්තික යුක්තිය අතර සම්බන්ධය දැක්විය හැකි අංග සම්පූර්ණ උදාහරණ නොමැත. කෙසේ වූවද ගැටුමකින් පසු ගොඩ එමින් සිටින රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට වින්දිතයන්ගේ අයිතීන් හා අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්නය නොසලකා හළ නොහැක. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ හෝ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ සඳහන් කෙරෙන විශේෂ වගන්තියක වින්දිතයින්ගේ අයිතිවාසිකම් සාර්ව වශයෙන් ආරක්ෂා කරනු ලැබෙන බවට සහතිකයක් දීම සඳහා උත්සාහ ගනු වටී. එසේම සංක්‍රමණීය යුක්තිය සඳහා පිහිටුවනු ලබන ආයතන යම් නිශ්චිත අවම ප්‍රමිතීන් හා වටිනාකම් ආරක්ෂා කළ යුතු බවට වූ සඳහන් කිරීමක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කළ හැක. එසේම එකී අයිතිවාසිකම් පිළිිපැදීමේ වගකීමක් ජාතික ව්‍යවස්ථාදායකය වෙත පැනවීම ව්‍යවස්ථාව මගින් සිදුකළ හැකි තවත් කටයුත්තකි.

2015 වර්ෂයේ දී සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධව රජය ලබාදුන් ප්‍රතිඥාව වෙත රජය බැඳ තැබීම සඳහා වින්දිතයින්ගේ කණ්ඩායම්වලට හා සිවිල් සමාජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද?

ආණ්ඩුව වගවීමේ ක්‍රියාවලියට කැප වී සිටින බවට බලපෑම් කිරීමේ වගකීම සිවිල් සමාජය විසින් භාර ගත යුතුයි. නිරන්තර අධීක්ෂණය, මහජනයා දැනුවත් කිරීමල,සමාජය සංවිධානය කිරීම හා සමාජය දැනුවත් කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී මහජන සුබසාධන නඩුකර පැවැරීම ආදී විවිධ උපක්‍රමික ප්‍රවේශයන් මෙම බලපෑම සජීවීව පවත්වා ගෙන යාම සඳහා යොදා ගත හැක.

උපුටා ගැනිම රාවය සමබිම ඉරිදා සංග්‍රහය (2016.04.03)