පරණ ක්‍රමය පැත්තකින් තියලා අලුතෙන් සිතන්න ඕන.

පරණ ක්‍රමය පැත්තකින් තියලා අලුතෙන් සිතන්න ඕන.

(පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්)

(දෙමළ ජාතික සංධානය)

අරගලකරුවන් තදින්ම කියනවා මේ පවතින සමස්ත පාලන ක්‍රමයම වෙනස් විය යුතුයි  කියලා. ඔවුන්  මතු කරන සමහර කරුණු ඇත්ත බව අපටත් හැඟෙනවා. පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ නියෝජනය වෙන්නේ ජනතා මතයද? නැත්නම් ඒ් ඒ් නියෝජිතයින්ගේ මතය හෝ වෙනත් මතයක්ද කියන සාධාරණ සැකය අපි හැමදෙනාටම තියනවා.

මේ ක්‍රමය මුළුමනින්ම වෙනස් වීමට නම් අපට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ මගින් වර්තමානයේ පවතින නියෝජිතයන් තෝරාගැනීමේ  ක්‍රමය  වෙනස් කළ යුතුයි. වර්තමානයේ සිද්ධ වෙන්නේ දේශපාලන පක්ෂ විසින් නියෝජිතයින් තෝරාගෙන ඔවුන් ජනතාවට ඉදිරිපත් කිරීමේ ක්‍රමයක්. මීට වෙනස් ව පැරණි ඡන්ද ක්‍රමයේ පැවතුණේ, ජනතාව තමන්ගේ අපේක්ෂකයා තෝරලා එම අපේක්ෂකයා තමන්ගේ දේශපාලන පක්ෂයට ඉදිරිපත් කිරීමක්. පළාත් පාලන ආයතනවල ඒ් වගේ ක්‍රමයක් තමයි තිබුණේ. ඡන්දයෙන් ඔහු තේරුණාට පස්සෙ ඒ් සභාව තමයි රැස්වෙලා ආණ්ඩුවක් හදන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ. දැන් තියන ක්‍රමය අනුව වැඩි ඡන්ද හෝ වැඩි ආසන ගණනක් ගත්ත පක්ෂයට තමයි ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ලැබෙන්නේ.

මේ ක්‍රමය වෙනස් කරන්න නම් ජනතාව තමන්ගේ නියෝජිතයා තෝරලා ඉදිරිපත් කරලා, ඒ් නියෝජිතයින් තේරී පත්වුණාට පස්සේ  ඒ් නියෝජිතයින්ගෙන් යුතු ආණ්ඩුවක් නැත්නම් කොමිටි ක්‍රමයක් හදන්න වෙනවා. දැන් මේ වගේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු වෙනවා.

මහජන සභාව යනු කුමක්ද?

මහජන සභාව සම්බන්ධයෙනුත් මේ දිනවල යම් සාකච්ඡාවක් සිදු වෙනවා. මහජන සභාව කියන්නෙ මේ වගේ දෙයක්: එතනදි වෙන්නේ වෙන් වෙන් මට්ටම්වලින් තෝරා පත්කරගන්නා නියොජිතයින් ඉදිරි මට්ටම දක්වා ගමන් කරලා, ඒ් වගේ නියොජිතයින් එකතු වී පාර්ලිමේන්තුවක් නැත්නම් මහජන සභාවක් හැටියට ඒකතු වෙලා වගකීම් පවරා ගනිමින් පාලනය ඉදිරියට ගෙන යෑම.

මේ දේවල් කරන්න නම් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කරලා, පවතින ක්‍රමය පැත්තකින් තියලා අලුත් විදියට හිතලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යන්න වෙනවා. මහජන සභාව ක්‍රියාත්මක වෙනව නම් රටට වැදගත් තීරණයක් ගැනීමට කලින් පහළම තියෙන මහජන ඒ්කකය ඒ් ගැන සාකච්ඡා කරලා, ඒ් ගන්නා තීරණය ඊට ඉහළින් තිබෙන ඒ්කකයට  යොමු කරමින් අවසානයේ ඉහළම තිබෙන සභාවට යොමු කළ යුතුයි, මේක තමයි ජනතා මතය කියලා.

මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව තරමක් දුෂ්කර වුවත් දැන් අපේ රටට එවැනි ක්‍රමයක් අවශ්‍යයි කියන තැනට රට පැමිණිලා තිබෙනවා. මොකද දැන් තිබෙන ක්‍රමය ඇතුළෙ අවුරුද 05කට බලය දීලා නියොජිතයින් පත්කර යැවුවට පස්සේ ඒ් නියෝජිතයින් ගන්න තීරණවලට මැදිහත් වීමේ, බලපෑම් කිරීමේ හැකියාවක් ඔවුන් පත් කර යවන ජනතාවට නැහැ. අපේ රට අද පත් වී ඇති තත්ත්වයට මේ ක්‍රමය හේතුවක් වූ බව පේන්න තියනවා. ඒ් නිසා ජනතාවගේ මැදිහත්වීම හැම වැදගත් තීරණයක් ගන්නා අවස්ථාවකදීම පැවතීම තමයි  මහජන සභාවක වැදගත්ම අංගය.

ජනතා නියෝජිතයින්ට දූෂණ චෝදනා එල්ල වෙද්දි, ජනතාවට හැකියාව තිබිය යුතුයි ඒ් සම්බන්ධයෙන් කරුණු සොයා බලලා, ඒ් ජනතා නියෝජිතයා එතැනින් ඉවත් කරලා වෙනත් කෙනෙක් එතැනට පත් කරන්න. ඒ් වගේ යෝජනා මේ නව ව්‍යවස්ථාවට ඇතුළත් වුවොත් පමණයි ඒ් ව්‍යවස්ථාව වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් වෙන්නේ.

මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම පහසු නොවුණත්, අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනව නම් මේ අරමුණු ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයක් අපි නිර්මාණය කර ගත යුතුයි.

මේ කාරණයෙදි අපිට පුළුවන් යම් තාක්ෂණික සහයක් ලබාගන්න. මොකද නූතන ලෝකය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වෙනුවෙන් මේ වගේ ප්‍රායෝගික ගැටලුවලට පිළිතුරු සොයාගෙන තිබෙනවා. එහෙම නොවුණොත් වෙන්නේ දිගින් දිගටම ජනතා මතය විකෘති වීම.

පුරවැසි හඬ

This post is also available in: English தமிழ்