මාර්ග හයක සංවර්ධන කටයුතු නිම නොකිරීමෙන් ප්‍රදේශ රැසකට දැඩි දුෂ්කරතා

මාර්ග හයක සංවර්ධන කටයුතු නිම නොකිරීමෙන් ප්රදේශ රැසකට දැඩි දුෂ්කරතා

මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඹුරුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ  පිහිටි ග්‍රාමීය මාර්ග 06ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කර අදාළ කටයුතු අතරමග නතර කිරීම හේතුවෙන් මෙම මාර්ගවලින් ගමන් පහසුව සලසාගන්නා ප්‍රදේශ ගණනාවක පදිංචිකරුවන්ට අවුරුදු එකහමාරක පමණ කාලයක සිට මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇත. මෙම කොන්ත්‍රාත්තුව ලබාගත් සමාගමට එය නිම කිරීමට මුදල් නොමැති බව පවසමින් එම මාර්ග සංවර්ධන කටයුතු අතර මග නතර කර තිබේ.

2020.02.10 දින සහ ඊට ආසන්න දිනවල මෙසේ කාපට් අතුරා සංවර්ධනය කිරීම අරඹා අතරමග නතර කර දමා ඇත්තේ 01) පොල්ගහමුල්ල – බැරගහමුල්ල – නාරන්දෙනිය මාර්ගය. 02) උල්ලල – මාස්මුල්ල මාර්ගය. 03) ලේනබටුව – බිබුලවෙල මාර්ගය. 04) පලොල්පිටිය – හතමුන මාර්ගය. 05) නාරන්දෙනිය – බොරළුකැටිය මාර්ගය. 06) පරගහතොට – බිබුලවෙල මාර්ගය යන මාර්ගයන්ය.

යටියන, උල්ලල, මාපලාන, මාස්මුල්ල, බිබුලවෙල, විටියල, ගම්උදාව, මිරිස්වත්ත, අතුරලිය, ලේනබටුව, සපුගොඩ, නාරන්දෙණිය ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව මෙම මාර්ගවලින් දෛනිකව ගමන් පහසුව සලසා ගන්නා අතර, සංවර්ධන කටයුතු සඳහා මෙම මාර්ග තැනින් තැන කඩා ඉවත් කිරීම, බෝක්කු ඉදිකිරීමට ආධාරක හෝ බාධක ඉදිකිරීම මෙන්ම ගල් අතුරා තිබීම හේතුවෙන් මෙම මාර්ග භාවිතා කිරීමේ දී ප්‍රදේශවාසීන්ට බලවත් අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.

2020 වසරේ කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවධනය කිරීමේ රජයේ ජාතික වැඩ සටහන යටතේ උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු තංගල්ලේ පිහිටි ඍ ) න්‍  නැමති කොන්ත්‍රාත්  සමාගමකි. මෙම එක් ප්‍රධාන මාර්ගයක් වන පලොල්පිටිය – හතමුන මාර්ගය අකුරැස්සේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉඟුරුපත්වල පිවිසුමට පහසුවෙන් ලඟා විය හැකි විකල්ප මාර්ගයකි. ඊට මුල්ගල තබන ලද්දේ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසිනි.

දෙවසරකට ආසන්න කාලයක සිට මෙම තත්ත්වයෙන් පීඩා විඳින ජනතාව මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය දැනුවත් කර ඇත. මෙවැනි තත්ත්වයකදී අදාළ කොත්ත්‍රාත් සමාගම අසාදු ලේඛන ගතකොට වෙනත් කොන්ත්‍රාත් සමාගමකට මෙම කොන්ත්‍රාත් ලබා දීම කළ යුතු වුවද කිසියම් හේතුවක් නිසා නිසි පියවර ගැනීම දිගින් දිගටම අතපසු කෙරෙමින් තිබේ.

This post is also available in: English தமிழ்