සංවර්ධනය සඳහාත් ව්‍යවස්ථාපිත තුලනයක් අවශ්‍යයි

සංවර්ධනය සඳහාත් ව්‍යවස්ථාපිත තුලනයක් අවශ්‍යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

 

නව ව්‍යසවස්ථාවක් පිළිබඳ අදහස නැවතත් මතුවෙලා තියෙනවා. එයට හේතුව 2022 අප්‍රේල් 12 වෙනිදා රාජ්‍ය බන්කොලෝත්භාවය ප්‍රකාශයට පත් කිරීම. මේ නිසා ජනතාව මුහුණ පාන්න වෙලා තියෙන ප්‍රශ්න එක්ක තමන්ගේ නියෝජිතයින්  හා පාලකයින් බරපතළ ලෙස ප්‍රශ්න කරන්න පෙළඹිලා තිබෙනවා. ඒ නිසාම පාර්ලිමේන්තුවෙන් පිටත සෘජු ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය වන ආකාරයේ නියෝජන ක්‍රමයක් පිළිබඳව සාකච්ඡාවකුත් සමාජයේ ඇති වී තිබෙනවා. ලංකාවේ අර්බුදය ගත්තහම ඊට යම්කිසි ඓතිහාසික කාරණයක් තිබුණත් මේ අර්බුදය මේ තැනට මෝරා වැඩුණේ 2010 පසු අපි විසින් ගන්නා ලද වාණිජ නොවන ණය කිසිම ආදායමක් ඉපයිය නොහැකි ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීමත් ඉන් අති විශාල ධනස්කන්දක් මංකොල්ල කෑමත් නිසා. ඒ ප්‍රශ්නය ව්‍යවස්ථාවේ ගැටලුවක්ද යන ප්‍රශ්නය අප ඉදිරියේ තිබුණත්, ඒ ප්‍රශ්නය පිටුපස ආණ්ඩුකරණය (Governance)  පිළිබඳ ප්‍රශ්නය අප ඉදිරියේ පන නැගී තිබෙනවා. ඒ නිසා ඊළඟ ව්‍යවස්ථාවකින්, බොහෝ දුරට අතීත ව්‍යවස්ථාවලින් සුළු ජාතික ජනතාවගේ දුක් ගැනවිලි හෝ අභිලාෂයන් පිළිබඳ කතා කළාට දැන් ඊට වඩා පුළුල් ක්ෂේත්‍රයක ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ ආර්ථික හැසිරීම් පිළිබඳ කාරණා සාකච්ඡාවට ගැනීමට ඉඩ කඩ පුළුල්වෙලා තිබෙනවා.

සංවර්ධන ක්‍රියාදාමයන් නියාමනය

සාමාන්‍යයෙන් ව්‍යවස්ථාව පිළිබඳ දේශපාලන විද්‍යාවේ අර්ථ දැක්වීම්වලට අනුව ආර්ථිකය පිළිබඳ කරුණු ව්‍යවස්ථාව තුළ නිරූපණය වෙන්නේ නැහැ. ඒවා නිරූපණය වන්නේ අනපනත් වලින්. නමුත් දැන් තියන තත්ත්වය යටතේ, එක් එක් පාලකයාට හිතුමනාපේ තීරණ ගැනීමට ඉඩ නොදෙමින්, යම් ව්‍යවස්ථාපිත තුලනයක් සංවර්ධනය යන කාරණයේදීත් ඇති කර ගත යුතු බව මතුවෙලා තියෙනවා. අපිත් යෝජනා කරලා තිබෙනවා ජාතික භෞතික සැලසුම, ඒ කොමිසම ව්‍යවස්ථාවට ඇතුල් කරලා ඉන් පිටත සංවර්ධන ක්‍රියාදාමයන් වැළක්වීමට කටයුතු කළ යුතුයි කියලා.

ඊට අමතරව සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය බරපතළ විදියට ප්‍රශ්න කරලා තිබෙනවා. අපේ රටේ විප්ලවකාරී දේශපාලනයේ නියැලිච්ච අය නිතර බලාපොරොත්තු වුණා සන්නද්ධ අරගලයකින් ක්‍රමය පෙරළා දාන්න, වෙනස් ආකාරයක සමාජ ක්‍රමයක් ස්ථාපිත කරන්න. ඒවා අසාර්ථක වුණා, ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පමණක් නොවේ ලංකාවේ අසාර්ථක වෙලා තියෙන්නේ, බරපතළ විදියට සන්නද්ධ දේශපාලනයත් අසාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම සන්නද්ධ දේශපාලනය විසින් ගොඩනගන්න හදපු සමාජ වාදය වැනි දෑ, කියුබාව වගේ රටවල් දිහා බැලුවම ඉතා බරපතළ විදියට අභියෝගයට ලක් වෙලා තියෙනවා. එම සමාජ ක්‍රමයන් බිද වැටිලා තිබුණත් තවමත් ඒ මතකයන් කර පින්නාගත් පිරිස් ඉන්න හින්දා ඒ ගැටලුව ඇවිත් තිබෙනවා.

පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්තත්‍රවාදය

ඒ නිසා තමන් අනුගමනය කරන ආර්ථික ක්‍රමය කුමක්ද කියන එක ගැන පමණක් නෙමෙයි, පක්ෂ ක්‍රමය සහ පක්ෂ නායකයින්ට ලැබී තිබෙන අසීමිත බලතල, පක්ෂ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිවීම, පරාජයට පත් වූ විට ඉවත් වී නොයන ගතිය, නැවත නැවතත් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හෝ ප්‍රාදේශීය සභාවට රිංගා ගැනීමට දරන හිරිකිත වෑයම, ඒ වගේම මේ රටේ පවුල්වාදය විසින් ඇති කර තිබෙන බලපෑම ආදිය ගැනද අවධානය යොමු විය යුතුයි. දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් එකක් ඥාතීන්, තව පිරිසක් පාදඩ සල්ලි විසින් මනාප වැඩිකරගෙන පැමිණි අය. ඒ වගේම මාධ්‍ය විසින් කරන ලද බලපෑම, විශේෂයෙන්ම ඉලෙට්‍රොනික මාධ්‍ය අයිතිකරුවන් තමන්ගේ පිරිස් පරිලිමෙන්තුවට යැවීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කරන අතර තමන් අකමැති අය පරාජය කිරීම සහ අපකීර්තියට පත් කිරීමේ ක්‍රියාවලියකුත් මෙහෙයවනවා. මේ මාධ්‍ය සහ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශාල කතිකාවතක් දැන් ආරම්භ විය යුතුව තිබෙනවා.

ජනමාධ්‍ය සහ පාදඩ ප්‍රාග්ධනය

ජනමාධ්‍ය ගත්විට, විශේෂයෙන්ම ඉලෙට්‍රොනික මාධ්‍යවල සංඛ්‍යාත අයිති ජනතාවට. ඒවා ඉතාම කැත විදියට, ජනතාව නොමග යැවීමටත්, තමන් අකමැති පුද්ගලයින් අපකීර්තියට පත් කිරීමටත්, තමන්ගේ පිරිසක් ගෙන ඒමටත් යොදා ගැනෙනවා. ඒ වගේම මත්ද්‍රවය ජාවාරමෙන් වෙන්න පුළුවන්,  කළු ගල්, පස් ජාවාරමෙන් වෙන්න පුළුවන්, රජයේ කොන්ත්‍රාත්වලින් වෙන්න පුළුවන්, මේ ආදී විදියට උපයන බිලියන ගණන් පාදඩ ධනය මැතිවරණවලදී ආයෝජනය වෙනවා. ඒ අය ඉහළ මනාප ලබා ගන්නවා. ඒ අය අද පාර්ලිමේන්තුවේ මුල් පෙළේ වාඩිවෙලා ඉන්නවා. මෙවැනි තත්වයන් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය, මහජන ඡන්දයේ වටිනාකම විහිළුවක් බවට පත්වෙලා තිබෙනවා. මේ පවුල්වාදය, පාදඩ වාදය හා මාධ්‍ය බෝනික්කන් විසින් නටවන දේශපාලනය වෙනුවට ජනතාවගේ සැබෑ නියෝජිතත්වයක් ඇති කර ගැනීමට මේ ව්‍යවස්ථාවේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයත්, බාහිර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියත්, මැතිවරණ ක්‍රියාවලියත් ශක්තිමත් කළ යුතුව තිබෙන බව තමයි අපගේ විශ්වාසය.

අපේ අදහසේ හැටියට මැතිවරණ කොමිසම බලාත්මක කළ යුතුයි. මැතිවරණ කොමිසම එක පැත්තකින් පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති ව්‍යවස්ථාවන් ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම නිශ්චිත සම්ප්‍රදායක් රට තුළ ඇති කර ගත යුතුයි, මැතිවරණ පරාජයෙන් පස්සේ ප්‍රධාන නායකයින් ඉවත් වෙලා අනෙක් නායකයින් බලයට පත්වීමේ ප්‍රජාතාන්ත්‍රික වටපිටාවක් සකස් කර ගැනීමට. ඒ වගේම අපේක්ෂකයින් තෝරා ගැනීමේදී පක්ෂවල ප්‍රාදේශීය පිරිස්වල කැමැත්ත පිළිබඳ කරණය ඉදිරියට ගන්න හැකියාවක් ළඟා කර ගත යුතුයි. ඇතැම් රටවල අපේක්ෂකයින් සඳහා ප්‍රථමික මැතිවරණ පවත්වලා ඒ ඔස්සේ තමයි අපේක්ෂකයින් තෝරා ගන්නේ. එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකයින්, අග්‍රාමාත්‍ය අපේක්ෂකයින් තෝරා ගන්නේ. එක ඉතාම අවශ්‍යයි.

මැතිවරණ වියදම් පාලනය

දෙවැනි එක මුදල්. මුදල් විය පැහැදම් කිරීම පිළිබඳ නිශ්චිත පාලනයක්  මැතිවරණ කොමිසමට ලැබිය යුතුයි. බොහෝ වෙලාවට මේ සඳහා අවධානය යොමු කරන්නේ රාජ්‍ය දේපොළ ගැන පමණයි. රාජ්‍ය දේපොළ පමණක් නෙමේ අයථා ලෙස උපයන ධනය යොදා ගෙන කරන මැතිවරණ ව්‍යාපාරවලට නිශ්චිත නීති රීති පැනවීමට මැතිවරණ කොමිසමට බාර කළ යුතුයි. ඒ වගේ ම ජනමාධ්‍ය. ජනමාධ්‍ය සම්බන්ධයෙන්, මුද්‍රිත මාධ්‍ය ගැන කිසියම් ආකාරයක ප්‍රශනයක් තිබුණත් රටේ විශාල වශයෙන් භාවිත වන මාධ්‍ය වන්නේ විද්‍යුත් මාධ්‍ය. ඒ විද්‍යුත් මාධ්‍යවල සංඛ්‍යාත අයිති රටේ මහජනතාවට. අන්තර්ජාලය අයිති ජනතාවට. ඒ නිසා අන්තර්ජාලයත්, විද්‍යුත් මාධ්‍යයත් නිශ්චිත පාලනයකට, සමබර ආකාරයට පවත්වා ගැනීමට මැතිවරණ කොමිසමේ මැදිහත්වීම සඳහා මැතිවරණ කොමිසමට ඒ බලය පැවරීම අත්‍යවශ්‍යයි. නැත්නම් මේක ඉතාම දූෂිත ආකාරයට ක්‍රියාකරමින් යනවා.

ඒ වගේම මහජනතාවටත් ව්‍යවස්ථාවෙන් පිටත යම් සම්ප්‍රදායක් ගොඩනගා ගත යුතුයි. දැන් රට බංකොලොත් වුණාට පසු ‘අනේ අපිට මොකද වුණේ, කවුද මේවට වගකිව යුත්තේ,’ කියනවට වඩා කලින් ඉඳන්ම යම් ආකාරයක අවබෝධයකින් ක්‍රියා කළා නම් මේ ව්‍යසනය වෙන්නෙ නෑ. ඒ නිසා මහජනයාත් මේ සම්ප්‍රදායන් තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් ඉල්ලුවට පස්සේ අපේක්ෂකයෙක් ජයග්‍රහණය කළා නම් ඔහු එම තනතුර දැරීමෙන් පස්සෙ දේශපාලනයෙන් විශ්‍රාම යන, අපේක්ෂකයෙන් පරාජය වුණා නම් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම යන, ප්‍රධාන මැතිවරණ පරාජයකින් පස්සේ පක්ෂ නායකයෝ ඒවායින් ඉවත් වෙලා වෙන අයට ඒ අවස්තාව ලබා දෙන, පවුල්වාදය හා පාදඩ සල්ලි පිළිකුල් කරන විදියේ පක්ෂ සම්ප්‍රදායක් රටට ඉතා අවශ්‍යයි.

This post is also available in: English தமிழ்