හිටපු කැරලි කරුවෙක් වීමෙන් දිගින් දිගට තර්ජනයට ලක්වීම!

හිටපු කැරලි කරුවෙක් වීමෙන් දිගින් දිගට තර්ජනයට ලක්වීම!

හිටපු කැරලි කරුවෙක් වීම යන එකම හේතුව නිසා තමන් දිගින් දිගටම බුද්ධි අංශයේ තර්ජනවලට ලක් වන බව පවසමින් මාධ්‍යවේදී යෝගේෂ්වරන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. ඔහු එම පැමිණිල්ල මගින් කියා සිටින්නේ තමාගේ මානව හිමිකම් ඉතා දරුණු ලෙස උල්ලංඝනය වන බවයි.

සිත්තංකේණි, වට්ටු නැගෙනහිර පදිංචි යෝගේෂ්වරන් මහතා (42) “මම හිටපු කැරළි කරුවෙක්. මාව දුරකථනයෙන් අමතා දිගින් දිගටම තොරතුරු ඉල්ලා සිටීම මට ලොකු තර්ජනයක් ” යනුවෙන් ද, ඒ සඳහා සාක්ෂි වශයෙන් මුහුණ පොත් සටහන් තමා සන්තකයේ තිබෙන බව ද එහි දක්වා තිබේ.

ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි තර්ජනයක් නිසා තමන් බියට පත් වී ඇති හෙයින් තමාට මෙන්ම පවුලේ අයට ද ආරක්ෂාව සලසා දෙන ලෙසයි.

කොටි සංවිධානයේ හිටපු කැරලිකරුවන්වන බොහෝ පිරිසක් පුනරුත්ථාපනය ලැබ සාමාන්‍ය ජීවිතයක් ගතකරන පසුබිම තුළ ඔවුන් නිරන්තරයෙන් බුද්ධි අංශයේ නිරීක්ෂණයට ලක්වීම සහ තොරතුරු ලබා දෙන ලෙස අඛණ්ඩව බලපෑම් කිරීම වැනි සිදුවීම් බහුලව සිදුවන බැවින් යෝගේෂ්වරන් වැනි මාධ්‍යවේදීන් නිරතුරුවම බුද්ධි අංශයේ ඉලක්කය බවට පත්ව ඇත. එබැවින් ඔවුන් තර්ජනවලට ලක්වීමේ සහ හිංසනවලට ගොදුරු වීමේ අවදානමක් පවතින්නේ ය. හිටපු කැරලිකරුවන් වීම නිසා විමර්ශන සහ තොරතුරු ලබා ගැනීම වැනි කාරණු මත බුද්ධි අංශ වරින් වර මොවුන්ව අපහසුතාවට ලක් කරමින් සිටී.

මෙවැනි පසුබිමක් තුළ, හිටපු කැරලිකරුවන් වීම නිසා තමන්ගේ මාධ්‍ය වගකීම ඉටු කළ නොහැකි ආකාරයේ මර්දනයකට ඔහු ලක් වී ඇත. එපමනක් නොව, ඔහු සමග සම්බන්ධතා පවත්වන සහ විවිධ කාර්යයන් සඳහා ඔහුව හමුවීමට පැමිණෙන පුද්ගලයින් ද බුද්ධි අංශයේ ඉලක්ක බවට පත්වීමේ අවදානමක් පවතින්නේ ය.

පශ්චාත් යුද සමය තුළ, මේ වන විට හිටපු කැරලිකරුවන් බොහෝ පිරිසක් සාමාන්‍ය ජන ජීවිතයට හුරු වී ඇතත්, ආරක්ෂක හේතූන් සාධකයක් කරගනිමින් ඔවුන්ව ත්‍රස්තවාදීන් යන කෝණයෙන් නිරීක්ෂණය කිරීමට බුද්ධි අංශයත් ආරක්ෂක අංශත් පෙළඹී ඇත. මෙය අමු අමුවේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන තත්ත්වයකි.

ආරක්ෂාවට තර්ජනයක් වන සිද්ධීන් සිදු වන අවස්ථාවන්වලදී කිසිදු සම්බන්ධයක් නොමැති මොවුන්ව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යාම හා යුද්ධය නිමා කර වසර 10ක් ගතවී ඇතත් කොටින්ට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා විටින් විට දුරකථනයෙන් සහ සෘජුව සම්බන්ධ වීම ඔවුන්ට තර්ජනයකි.

ඒ අනුව, මාධ්‍යවේදී යෝගේෂ්වරන් වැනි හිටපු කැරලිකරුවන් අතීත සිදුවීම් වෙනුවෙන් මෙලෙස අඛණ්ඩව නිරීක්ෂණයට සහ හිංසනයට ලක් වීම ඉතා බැරෑරුම් තත්ත්වයකි. එවැනි පසුබිමක් තුළ ඔවුන් ආරක්ෂක අංශවල තර්ජනයන්ට ලක් ව, මූලික අයිතීන් මෙන්ම නිදහස අහිමි පිරිසක් වශයෙන් වුව ද තර්ජන හමුවේ තම මාධ්‍ය මෙහෙවර සිදු කරමින් සිටී.

– මාධ්‍යවේදී සී. යෝගේෂ්වරන්

 

 

 

 

 

 

This post is also available in: English தமிழ்