අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!

අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ඉඩම් අත්පත් කිරීම් හේතුවෙන් ගොවීන්ගේ ජීවනෝපාය අඩාල වී ඇති බවට පීඩාවට පත්ව ඇති ගොවීන් වෙනුවෙන් සත්‍යනාදන් යුධර්සනන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මඩකලපුව, සිත්තාණ්ඩි 02, ප්‍රධාන පාර, අංක 51/A දරන ලිපිනයෙහි පදිංචි ඔහු කෝරළයිපත්තු දකුණ ග්‍රාම නිලධාරි වසමට අයත් වට්ටවාන් ප්‍රාදේශයට අයත් ගොවීන් දස දෙනෙකුගේ ඉඩම් මෙලෙස අත්පත් කර ඇති බවට එම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.

2021 දෙසැම්බර් හි මෙම මානව හිමිකම් කඩවීම සිදු වූ බව පැවසු ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිවය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ විශේෂයෙන්ම මඩකලපුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය වන නිලධාරීන් මානව හිමිකම් කඩවීමට සම්බන්ධ බවයි.

කෝරළෙයිපත්තු දකුණ ග්‍රාම නිලධාරි වසමට අයත් වට්ටවාන් ප්‍රදේශයේ වසර 30කට ආසන්න කාලයක් ජීවත් වන ගොවීන් 10 දෙනෙකුට අයිති අක්කර 6 ½ ක් වු වතු ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්පත් කරගෙන ඇති අතර ඔවුන්ගේ ජීවනෝපාය විනාශකොට එකී ඉඩම්වල තේක්ක වගා කර ඇත. මේ නිසා බඩඉරිඟු, රට කජු සහ මඤ්ඤොක්කා වගා කිරීමට නොහැකිව ඉඩම් හිමියන් දැඩි පීඩාවට පත්ව ඇති බව එම පැමිණිල්ලේ විස්කර කර ඇත.

මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම්, දිසාපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මානව හිමිකම් කොමිෂන් සභාවට දැනටමත් පැමිණිලි කර ඇති බව පැමිණිලිකරු පෙන්වා දුන්නේය.

සමස්තයක් ලෙස දෙමළ ජනතාවට එරෙහි මෙම කටයුත්ත දේශපාලන අරමුණක් මත සිදු වූවක් බව සඳහන් කළ පැමිණිලිකරු, එම ඉඩම නැවත ලබා දිය යුතු බවත් විපතට පත් වූවන්ට ජීවනෝපාය පහසුකම් ලබා දිය යුතු බවත් ඉල්ලා සිටියේය.

මෙම පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට ගොනු කරන ලද්දේ 2022 මාර්තු 3 වැනි දිනයේ දී ය.

මඩකලපුව සත්‍යනාදන් යුදර්ශනන්

 

This post is also available in: English தமிழ்