මාධ්‍ය මෙහෙවරට විලංගු දැමූ රාජ්‍ය ආයතනය සහ බලධාරීයා !

මාධ්‍ය මෙහෙවරට විලංගු දැමූ රාජ්‍ය ආයතනය සහ බලධාරීයා !

යාපනය, කුඩත්තනෛ, අම්බන් යන ලිපිනයේ පදිංචි මාධ්‍යවේදි තංගරාජා කාණ්ඩීබන් මහතා (42) පුවත් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී තමන් මුහුණ දුන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. සුගිය මාර්තු 7 වැනිදා ඔහු විසින් එසේ පැමිණිල්ල සිදු කරන ලද්දේ ධීවර අමාත්‍යාංශයේ සහ මානව හිමිකම් කඩවීමට සම්බන්ධ වු බලධාරියෙක් වන නේ. එන්. දයානන්දා යන අයට එරෙහිව ය.

පසුගිය පෙබරවාරි මස 01වෙනිදා වඩමරාච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දියත් කෙරුණු ධීවර උද්ඝෝෂණය සම්බන්ධ පුවත් ආවරණය කරමින් සිටි අවස්ථාවේදී ඊට බාධා කිරීම සහ දැඩි ලෙස තර්ජනය කිරීම වැනි කරුණු ඉදිරිපත් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. එසේ ම, තමන්ට ආරක්ෂාව සලසා දෙන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවෙන් ඔහු ඉල්ලීමක් ද කර ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ කාණ්ඩීබන් මහතා මේ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් පිළිබඳ කරුණු ඉදිරිපත් නොකිරීම නිසා, එකී පැමිණිල්ල ඉදිරියට ගෙනයාම ගැටලු සහගත බව ද, වර්තමානයේ සිදුවෙමින් පවතින මාධ්‍ය මර්දනය හමුවේ තමාගේ ආරක්ෂාව පිළිබඳව සිතිය යුතු බවත් සඳහන් කළේය.

නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරන මොහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ඉහළ බලධාරීන් ට පැමිණිලිකර ඇති බවක් පෙනෙන්නට නැත. එසේ කළත් කිසිදු යහපතක් සිදු නොවනු ඇතැයි තමත් හිතන බව පැවසු ඔහු නැවතත් ආණ්ඩුවේ බලධාරීන් හා එක්ව කටයුතු කිරීමට සිදුවන බැවින් තම ආරක්ෂාව සම්බන්ධයෙන් බියෙන් පසුවන බව පෙන්වා දුන්නේ ය.

නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පුවත් රැස් කොට අනාවරණය කිරීමේදී තමන් ඉහළින්ම ලේබල්කරනයට ලක් වන නිසා, තමන්ට සමාජ විරෝධීන්ගේ තර්ජන නිරතුරුවම පවතින බව පවසන ඔහු, මාධ්‍ය කරණයේ යෙදී සිටින තමාව බලධාරීන් ද සුළු සේවකයන් ද හොඳින් හඳුනන බවත් එනිසාම ගැටළුවලට මුහුණ දීමට ඇති සම්භාවිතාව අධික බවත් අවධාරණය කළේ ය. තමන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත තමාගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා සිටීමට මෙවැනි කරුණු බලපා ඇති බව ද සඳහන් කළේ ය.

නිදහස් මාධ්‍යවේදී තංගරාජා කාණ්ඩීබන්

 

 

 

 

 

 

 

 

This post is also available in: English தமிழ்