ප්‍රභාකරන්ගේ සොහොන හා මාධ්‍ය මර්දනය!

ප්‍රභාකරන්ගේ සොහොන හා මාධ්‍ය මර්දනය!

විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ සොහොනට පිටුපසින් පිහිටි ප්‍රදේශයේ තමාගේ වාසස්ථානය පිහිටා තිබීම යන එකම හේතුව නිසා ආරක්ෂක අංශවලින් දරුණු ලෙස පීඩනයට ලක්වන බව පවසමින් වල්වැටිතුරේ, සිවන් කෝවිල් අසල, ආලඩි පටුමගෙහි පදිංචි මාධ්‍යවේදී ආර්. මහින්දන් මහතා (33) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය 2022 මාර්තු 07 වැනි දා පැමිණිලි කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ හමුදාව තමාගේ මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් ක්‍රියා කරන බව පෙන්වා දෙන ඔහු, සෑම අවුරුද්දකම පාහේ මහවිරු දිනයේදී තමන් දැඩි දුෂ්කරතාවලට ලක්වන බව ද සඳහන් කරයි. එමෙන්ම නිරන්තරයෙන් ආරක්ෂක අංශවල නිරීක්ෂණයට ලක් වීම මගින් ඔහුගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට බාධා එල්ලවී ඇති බව පෙන්වා දෙන මහින්දන් මහතා, මාදගල් ප්‍රදේශයේ පැවති උත්සවයක් ඡායාරූපගත කිරීම සඳහා ගිය අවස්ථාවේදී හමුදාවේ දැඩි තර්ජනයට ලක්වීම ආසන්නතම සිදුවීම බවද කීය.

“මාගේ නිවස විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ සොහොනට පිටුපසින් පිහිටි ප්‍රදේශයේ පිහිටා තිබෙන නිසා අවුරුද්දක් පාසා මහවිරු දිනය ළං වෙද්දී නිවස සෝදිසි කිරීම්වලට ලක් වෙනවා. නිවසේ බඩු මුට්ටු සහ දුරකථන ආදිය ද පරීක්ෂා කෙරෙනවා. එවැනි දවස්වලට ඥාතීන් අපේ ගෙදර එන්න බයයි. නිවස ඉදිරිපිට කැලෑ වැවිලා; සුද්ද කරන්න බෑ; සුද්ද කළොත් එන තර්ජනය දරුණුයි”. ආදි කරුණු ද ඔහුගේ පැමිණිල්ලෙහි සඳහන්. තවද, බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ ද, ඔවුන් කිසිදු පියවරක් නොගන්නා බවත්, නොවැම්බර් 26 ලංවෙද්දි කරදරවලට අඩුවක් නැති බවද කියා සිටියේ දැඩි  වේදනාවෙ නි.

මානව හිමිකම් කොමිෂන් සභාවට සිදුකර ඇති පැමිණිල්ල මගින් මහින්දන් මහතා ඉල්ලා සිටින්නේ තමාගේ ජංගම දුරකථනය අත්පත් කර ගැනීම වැලැක්වීම සහ නිවස ඉදිරිපිට වැවී තිබෙන කැලෑ එළි පෙහෙළි කිරිමට පියවර ගන්නවා ලෙස ය.

ප්‍රභාකරන්ගේ සොහොනට යාබදව ජීවත්වීම යන එකම හේතුව මුල්කරගනිමින් මෙම මාධ්‍යවේදියාට සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂක හේතු දක්වමින් තර්ජනය කිරීම සහ අඩන්තේට්ටම් කිරීම දැඩි ලෙස හෙළා දැකිය යුතු කාරණයක් වන අතර, මහින්දන් මහතාට අත්වී ඇති ඉරණම, ආරක්ෂක අංශ මගින් උතුරේ සිටින මාධ්‍යවේදීන්ට සහ මහජනතාවට එරෙහිව ඉතා සියුම් ලෙස මර්දනය දියත් කරමින් තිබෙන ආකාරය ප්‍රක්ෂේපණය කරන තවත් නිදර්ශනයකි.

ආරක්ෂක හේතූන් මත ජංගම දුරකථනය අත්පත් කර ගැනීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. මාධ්‍යවේදියකු ට ජංගම දුරකතනයක අවශ්‍යතාව හුවා දැක්වීමට අටුවාටීකා අවශ්‍ය නැත. එහි විෂය කරුණු, ඊට අදාල සාක්ෂි සහ තොරතුරු මූලාශ්‍ර තිබිය හැක. එබැවින් ජංගම දුරකථනය අත්පත් කරගනිමින් සෝදිසි කිරීම් දිගින් දිගටම සිදුවීම ඔහුගේ මාධ්‍ය භාවිතය වලක්වන ක්‍රියාවකි. මේ හේතුවෙන් ඔහුට නිදහසේ බියෙන් තොරව තම කාර්යභාරය ඉටුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන්නේ ය. මෙවැනි පසුබිමක් තුළ අධිකරණයේ පූර්ව අනුමැතියක් හෝ අයිතිකරුගේ අවසරයකින් තොරව අත්පත් කරගන්නා ජංගම දුරකථනවල තිබෙන දත්ත සහ තොරතුරු ඔවුන් විසින් අවභාවිතය නොවනු ඇතැයි යන්න සහතික කිරීම අසීරු ය.

මාධ්‍යවේදී ආර්. මහින්දන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

This post is also available in: English தமிழ்