පුවතක සඳහන් හේතුවෙන් මාධ්‍යවේදිනියකට රාජ්‍ය නිලධාරිනියකගෙන් තර්ජනාත්මක ප්‍රතිචාරයක්

පුවතක සඳහන් හේතුවෙන් මාධ්යවේදිනියකට රාජ් නිලධාරිනියකගෙන් තර්ජනාත්මක ප්රතිචාරයක්

ප්‍රවෘත්තියක සඳහන් කළ සත්‍ය කරුණක් හේතුවෙන් කෝපයට පත් රාජ්‍ය නිලධාරිනියක විසින් දිවයින පුවත්පතේ මහනුවර මාණ්ඩලික මාධ්‍යවේදිනියක වන සමන්ති වීරසේකරට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

කූට ලේඛන උපයෝගී කර ගනිමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කොට විදේශගත වීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ යන අය පසුගිය පෙබරවාරි මස 24 වැනිදා  අත්අඩංගුවට ගනු ලැබිණි. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසිය වෙත කැඳවා සිටි සභාපතිවරයාගෙන් අදාළ ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු අපාරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කඩුගන්නාවේ නගර සභාවේ මන්ත්‍රීවරු හා ප්‍රදේශවාසීන් සභාපතිවරයාගේ වංචනික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත මෙන්ම රහස් පොලිසිය වෙතද පැමිණිලි කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විණි.

මධ්‍යම පළාත් පළාත් සභාව විසින් සිදුකළ විමර්ශනයේදී සභාපතිවරයා කූට ලේඛන ඉදිරිපත්කොට විදේශ ගමන් බලපත්‍රය සකස් කළ බවට වාර්තාවක් පළාත් ආණ්ඩුකාරවරයා වෙත විමර්ශන නිලධාරීන් විසින් ලබාදී තිබුණි. අදාළ විමර්ශන වාර්තාව ආණ්ඩුකාරවරයාට බාරදීමෙන් පසු එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වෙත යොමු කළ බව මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

කඩුගන්නාව නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී අමිල වේරගොඩ නගරාධිපති ලෙස තම තනතුරු නාමය වෙනස් කර ව්‍යාජ ලිපියක් සකස් කර තිබේ. එහිදී ඔහුට සහය ලබා දී තිබුණේ එවකට කඩුගන්නාව නගර සභාවේ ලේකම් ලෙස කටයුතු කළ නිලධාරිනියයි. සිද්ධිය හෙළිවීමෙන් පසු ඇයව මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට මාරු කරනු ලැබීය.

කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට පත් වීම පිළිබඳව සමන්ති වීරසේකර විසින් දිවයින පුවත්පතට ලියූ ප්‍රවෘත්තියෙහි, ඔහුට මින් පෙරද ව්‍යාජ ලේඛන සැකසීම පිළිබඳ චෝදනා එල්ල වූ බවත් ඊට සහාය වූ  නගර සභාවේ ලේකම්වරිය මෙම සිදුවීමට අදාළව ස්ථාන මාරුවකට ලක්ව සිටින බවත්  සඳහන් කර තිබිණි.

‘‘එම ප්‍රවෘතිතිය දැක මෙම නිලධාරිනිය මාගේ පෞද්ගලික දුරකතන අංකයට ඇමතුමක් ලබාදී ඇය පිළිබඳ ප්‍රවෘත්තියේ සඳහන් කළේ ඇයි දැයි ප්‍රශ්න කළා. පෙර සිදුවීම මා සිහිපත් කළ විට ‘ඒක දැන් සිද්ධ වෙලා ඉවරයි. ඔයා කාගේ හරි කොන්ත්‍රාත් එකක්ද ඉෂ්ඨ කරන්නේ?‘ යනුවෙන් යළිත් ඇය ප්‍රශ්න කළා. ඔයා කොහොමද මම ගැන ලියන්නේ මම මේකට ඇක්ෂන් එකක් ගන්නවා යනුවෙන්ද ඇය තර්ජනාත්මකව පැවසුවා. එම අවස්ථාවේ මා දුරකතනය විසන්ධි කර දැමූ අතර ඉන්පසු ඇය කතා කළේ නැහැ.‘‘ සිද්ධියට මුහුණ පෑ මාධ්‍යවේදිනිය පවසයි.

අදාළ ප්‍රවෘත්තිය තමන් විසින් ලියනු ලද්දේ පොලිස් පැමිණිලි, ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශ, පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රකාශ, පළාත් පාලන කොමසාරිස් විසින් සිදුකරන ලද පරීක්ෂණ වාර්තාව ඇතුළු මූලාශ්‍ර රැසක් පාදක කර ගනිමින් බවත්, අදාළ නිලධාරිිනිය ගැන කළ සඳහනද සත්‍ය මූලාශ්‍ර සහිත, පුවතේ සන්දර්භයට අදාළ කරුණක් බවත් මාධ්‍යවේදිනිය ප්‍රකාශ කරයි.

 

.

 

This post is also available in: English தமிழ்